වෙළඳාම සඳහා ඇති බාධක ජයගැනීමට හැකිනම් දකුණු ආසියානු රටවල් අතර වෙළඳාම තුන් ගුණයකින්, එනම් ඩොලර් බිලියන 23 සිට ඩොලර් බිලියන 57 දක්වා ඉහළ දැමිය හැකි බවට නව ලෝක බැංකු වාර්තාවක් පෙන්නුම් කරයි. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක මෙසේ සඳහන් වේ.

දකුණු ආසියාව හා දැනට සිදු කරන අපනයන ප්‍රමාණය දෙගුණ කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු ය. කලාපය තුළ වෙළඳාම ඉහළ දැමීම මගින් විවිධ වර්ගයේ භාණ්ඩ හා සේවා බොහෝ ප්‍රමාණයක් ලාංකික පාරිභෝගිකයන්ට ඉතා අඩු මිළට ලබා ගැනීමට හැකි වනු ඇති අතර නිෂ්පාදකයන්ට හා අපනයනකරුවන්ට යෙදවුම් සදහා ඇති අවස්ථා වර්ධනය වීම, ආයෝජන ඉහළ යාම, සහ අපනයන වර්ධනය හා විවිධාංගීකරණය එමගින් සිදු වනු ඇත.

දකුණු ආසියාව යනු ආර්ථික වශයෙන් ලොව වේගයෙන් ම වර්ධනය වන කලාපයයි. නමුදු දකුණු ආසියාව ලෝකයේ කලාපීය වෙළඳාම අවම වශයෙන්ම පවත්වාගෙන යන කලාපය ද වේ. කෘත්‍රිම වෙළඳ බාධක හේතුවෙන් කලාපය තුළ සම්බන්ධතා පවත්වාගැනීම අවහිර වී ඇති අතර එමගින් දකුණු ආසියානු රටවල ආර්ථික දියුණුවට බාධා එල්ල වී ඇත. දකුණු ආසියානු රටවල් අතර වෙළඳාම, කලාපයේ සමස්ත වෙළඳාමෙන් 5%ක් පමණ වන අතර එම රටවල් නැගෙනහිර ආසියාව සහ පැසිෆික් කලාපය සමඟ සිදුකරන වෙළඳ කටයුතු, කලාපයේ සමස්ත වෙළඳාමෙන් 50% ක අගයක් ගනී. ශ්‍රී ලංකාව දකුණු ආසියා වේ අනෙකුත් රටවලට හා අපනයනය කරන්නේ එහි ගෝලීය අපනයනයවලින් 11% ක් පමණි

“අඩක් පිරුණු වතුර වීදුරුවක්: දකුණු ආසියානු කලාපීය වෙළදාමට සුභවාදී ගමන්මගක්” යන වාර්තාව අද දින එළි දක්වන ලදී. එහි දී කලාපීය වෙළඳාමට එල්ල වන තීරණාත්මක බාධා 4ක් වන ආනයන බදු විකෘති කිරීම්, තීරුබදු නොවන බාධා, සමිබන්ධකතා පිරිවැය සහ රටවල් අතර විශ්වාසය අඩුකම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ප්‍රතිපත්ති සම්පාදකයන් හට ඒවාට විසදුම් සැපයීම සඳහා විකල්ප ඉදිරිපත් කර ඇත.

දකුණු ආසියාව වඩාත් ඒකාබද්ධ කලාපයක් බවට පත් කිරීමට අවශ්‍ය බව පොදුවේ පිළිගත් කාරණාවක් වන අතර, මෙම වාර්තාව එම ප්‍රතිලාභ ප්‍රමාණනය උපකාරී වනු ඇත. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව දැනට දකුණු ආසියානු රටවලට හා අපනයනය කරන ප්‍රමාණය ඩොලර් බිලියන 1.2 ක් වටිනා භාණ්ඩ අපනයනය කරන නමුත් දකුණු ආසියාවට අපනයනය කළ හැකි මුළු වටිනාකම ඩොලර් බිලියන 2.8ක් ලෙස ගණනය කර ඇත. මෙම ප්‍රමාණ 2 අතර පවතින ඩොලර් බිලියන 1.6 ක පරතරය ශ්‍රී ලංකාවේ මුළු ගෝලීය අපනයනයවලින් 15% ක ප්‍රමාණයකට සමාන වේ. මෙම පරතරය නැති කිරීම මගින් ලංකාවේ වෙළඳාම ඉහළ නැංවීමට පමණක් නොව එය විවිධාංගීකරණය කිරීමටත් උපකාරී වනු ඇත.

‘ශ්‍රී ලංකාව වෙළඳාමට ඇති බාධක ඉවත් කරමින් සම්බන්ධතාවයන් වර්ධනය සඳහා ආයෝජනය සිදු කරයි නම් මුල්‍යමය වශයෙන් ප්‍රතිලාභ අත්පත්කොට ගැනීමේ හා සේවා අංශ හා මානව සමිපත් වැඩි දියුණු කර ගැනීමේ හැකියාවක් පවතියි,” ශ්‍රී ලංකාව හා මාලදිවයින භාර ලෝක බැංකුවේ අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය (Dr. Idah Pswarayi-Riddihough ) මහත්මිය විසින් ප්‍රකාශ කොට ඇත.

තීරු බදුවලට අමතරව වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද හා සෙස් බද්ද වැනි ආරක්ෂණ වාදී බදු (Para tariffs) අපනයන විරෝධී නැඹුරුවක් ඇති කරයි. මෙම අතිරේක බදු සාමාන්‍ය ආනයන තීරු බදු ප්‍රතිශතය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් ගනී. මීට අමතරව. ශ්‍රී ලංකාවේ ආනයනවලින් 44% ක ප්‍රමාණයක් සඳහා දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාප ගිවිසුම යටතේ සහනදායී බදු හිමි නොවේ. තවද ශ්‍රී ලංකාව දකුණු ආසියාවට සිදු කරන අපනයනවලින් 23% ක් සඳහා ද එවැනි බදු හිමි සහන හිමි නොවේ. තීරුබදු නොවන බාධා අපනයන පිරිවැය තවත් ඉහළ දමයි.

දකුණු ආසියාව සමග ඇති සීමාසහිත ගුවන් පහසුකම් ද වෙළද පිරිවැය (විශේෂයෙන්ම සේවාවල) වැඩි කිරීමට හේතු වෙයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා ලිහිල්කරණය කිරීම සාර්ථකත්වයේ පියවරක් ලෙස දැක්විය හැකියි. 2003 වර්ෂයේ සිට රටවල් 2 අතර ගුවන් ගමන් ඉහළ යාම මිල ගණන් පහළ යෑමටත් මගී ගමනාගමනය හා ගුවන් භාණ්ඩ ප්‍රමාණය වැඩි වීමටත් හේතු වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව හරහා සතිපතා ගුවන් ගමන් 147ක් සිදුවන අතර, 2005 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2005 වර්ෂයේ 113,323 ක් වූ ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව 2016 දී 356,729 දක්වා තුන් ගුණයකින් යන ලදී.

“ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා ලිහිල්කරණය කිරීම දකුණු ආසියාවේ අනෙක් රටවලට ප්‍රබල උදාහරණයක් සේ ගත හැකිය,” යනුවෙන් ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥයකු මෙන්ම වාර්තාවේ ප්‍රධාන රචකයා වන සංජේ කතූරියා (Sanjay Kathuria ) පවසයි. “කලාපයේ පවතින සංකීර්ණ ඉතිහාසය, විශාලත්වයේ ඇති වෙනස්කම් හා විශ්වාසයෙ අඩුකම හේතුවෙන් ප්‍රතිපත්ති වෙනස් කිරීම් ක්‍රමානුකූලව පරික්ෂාකාරීව සිදු කළ යුතු ය. ගුවන් සේවා තවදුරටත් විවෘත කිරීම සාර්ථකවූයේ කුඩා පියවර රාශියක් අඛණ්ඩ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කළ බැවිනි.”

දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුමේ සැබෑ ප්‍රතිලාභ අත්කර ගැනීමට සංවේදී ලැයිස්තු ලිහිල් කිරීම, තීරු බදු නොවන ආරක්ෂණ වාදී බදු ලිහිල් කිරීම අවශ්‍ය වේ. තව ද, තොරතුරු ප‍්‍රවාහ, ක්‍රියාපරිපාටි හා යටිතල පහසුකම් කෙරෙහි අවධානය යොමු කරමින් තීරු බදු නොවන බාධක සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බහුවිධ ප්‍රයත්නයක් ගැනීමේ අවශ්‍යතාව ද වාර්තාව ඉස්මතු කරලයි.

LEAVE A REPLY