රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා රාජපක්ෂවාදීන් ගෙන යන ප්‍රචාරයන්ගේ කිසිදු වැදගැම්මක් නැති බව ඔවුන්ගේ කටයුතුවලින්ම දැන් පෙනී යයි.

පසුගිය දිනවල රුපියල බාල්දු වී ඇති බවත් ඊට වත්මන් පාලනය වගකිව යුතු බවත් කියමින් රට වැසියන් මුලාවේ දැමිමට රාජපක්ෂ කඳවුරේ ආර්ථික ඔස්තාර්ලා කටයුතු කළේය. ඒ මදිවට මහින්ද රාජපක්ෂ ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ කරුණ තහවුරු කරන්නට ගියේය. මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ නිරුත්තර වී තමන් කළ ප්‍රකාශයන්ගේ වැදගැම්මක් නැති වග තහවුරු කළේය. ප්‍රශ්නයට උත්තර නැති වන විට අපේ ආණ්ඩුවක් ආවාම ඒවා විසඳනවා යනුවෙන් කියනවා හැර ඇත්ත ප්‍රශ්නයට ඔහුට උත්තර තිබුනේ නැත.

ඊයේ පෙරේදා රාජපක්ෂලාගේ තරුණ මන්ත්‍රීන් කියන කිහිප දෙනෙකු ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවට පහර ගැසීමට උත්සහ කළ ද එය ද වැරදී ගියේය. මධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ ඔවුන්ට ඇත්ත කතාව පිළිගැනිමට සිදුවිය. රුපියල කඩා වැටීම ආණඩුවේ වැරද්දක් නොව අැමරිකාව ගත් ක්‍රියාමාර්ගයක් නිසා සිදුව ඇති බව පිළිගන්නට සිදු විය.

ඒ විතරක් නොවේ. රුපියලේ අගය අඩුවී රට අර්ථික වශයෙන් අවාසිදායක වන විට ඒ ගළවාගැනීමට ගත් පියවර මෙන්ම අලුත් තත්ත්වයන් වාසියට හරවාගැනීම සඳහා කෙටිකාලීන හා දිර්ඝකාලීන පියවරයන් ගතයුතු බව කියන්නට සිදු විය. ආණ්ඩුව දැන් කරමින් සිටින්නේ එයයි.

බොරුව හැමදාම ජයගන්නේ නැති බව කියන්නේ කට කහනවට නොවේ. ගැටලුවට හේතු වූ සත්‍ය කාරණාව පසෙකට දමා බොරු කයිකතන්දරවලින් රට වැසියා රැවටීම හැමදාම කරන්නට බැරිය.

එහෙත් යහපාලනයට එරෙහිව බොරු සමාජගත කරමින් එය පෙරළා දැමීම සඳහා සටකපට බලපෙරේත දේශපාලකයන් තවමත් උත්සහ කරමින් තිබේ. ඉදිරි අයවැයේ දි ආණ්ඩුව පෙරළා දමන බවට කසු කුසුවක් රාජපක්ෂ කඳවුර පැත්තෙන් මේ දිනවල අසන්නට ලැබේ . භාරකාර ආණ්ඩුවක් ගැන ද කතන්දර ද කියැවේ. රට විකුණක් කාපු බිලියන් ගණන් මුදල් කොල්ල කාපු දේපොළ කොල්ල කාපු මිනි මරමින් තමන්ගේ පාලනය රැකගැනීමට මහා ම්ලෙච්ඡ පාලනයක් ගෙන ගිය වුන් මේ කුමන්ත්‍රණයන් සිදු කරමින් තිබේ.

මේවාට අසුවන බල ලොභී දේශපාලකයන් නැතුවා නොවේ. රට වැසියන්ද නැතුවා නොවේ. එහෙත් අද බහුතරයක් රට වැසියා ඇත්ත නැත්ත කුමක් ද. ‍තෝරාගැනීමට සමත් පිරිසකි. රටට අවශ්‍ය ‍තෝරා ගැනීම නිවැරදිව කරන්නට ඔවුන් සමත්ය. ඉතිහාසයේ කුණු බක්කියට වැටිය යුත්තේ කවර දේශපාලනය ද දේශපාලකයා ද යන්න රටවැසියා තීරණය කරනු ඇත. මන්ද යහපාලන කියන්නේ එක පක්ෂයකවත්, එක දේශපාලකයෙකුගේවත්, එක පවුලකවත්, උරුමයක් නොව එය සමස්ත රට වැසියාගේ වුවමනාව ය. එය පරාජය කිරීමට මේ රටේ ජනතාව දැන් කොහොමටවත් ඉඩ දෙතැයි සිතිය නොහැකියි.

-දැක්ම-

LEAVE A REPLY