සුළු වර්ෂා තත්ත්වයකදී පවා ඉතා ඉක්මනින් කොළඹ නගරය ජලයෙන් යටවීම කොළඹ ජීවත්වන සහ කොළඹට පැමිණෙන දහස් ගණන් ජනතාව මුහුණ දෙන ප්‍රබල පාරිසරික අභියෝගයක්. ස්වාභාවික කාරණාවලට වඩා මෙවැනි පසුබිමක් නිර්මාණය වීමට ප්‍රබල හේතුවක් බවට පත්ව තිබෙන්නේ මිනිසා විසින් ම විමසීමකින් තොරව අත්තනෝමතික ලෙස සිදු කරන යම් යම් කාරණා. විශේෂයෙන් ම කොළඹ නගරය තුළ නිසි සැලසුමකින් තොරව ජලය බැස යාමේ මාර්ග අවහිර වන ලෙස සිදු කරන නිවාස, ගොඩනැඟිලි සහ වෙනත් ඉදිකිරීම් මෙන් ම ජලය බැසයාමේ ඇළ මාර්ග ආශ්‍රිත සංරක්ෂිත ප්‍රදේශ අවහිර වන පරිදි සිදු කරන ඇතැම් ඉදිකිරීම් ද මේ ආකාරයට සාමාන්‍ය වර්ෂා තත්ත්වයක දී පවා නගරය වැසි ජලයෙන් යටවීමට හේතුවක්. මේ නිසා කොළඹ නගරයේ ජීවත්වන ජනතාව මෙන් ම කොළඹ නගරය ආශ්‍රිත වූ අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණෙන ජනතාව පත් වන්නේ දැඩි අසීරුතාවයකට. මේ මඟින් ගොඩනැ‍ෙඟන අනෙක් ප්‍රබල ම අභියෝගය නම් මෙවැනි තත්ත්වයකින් පසුව බෝවන රෝග ව්‍යාප්තියට වැඩි ඉඩ ප්‍රස්තාවක් ඇති වීම.

යටත් විජිත යුගයේ සිට ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වූ කොළඹ නගරයේ වැසි ජල පාලනයට සහ අපහරණයට නව උමං මාර්ග පද්ධති දෙකක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ලන්දේසි යුගයේ ඉදි කෙරුණු උමං මාර්ග පද්ධතියට පසු ව ඉදි කෙරෙන පළමු වැසි ජල අපහරණ උමං මාර්ග පද්ධති ලෙස යි මෙය සැලකෙන්නේ. මේ නව උමං වැසි ජල අපහරණ පද්ධති දෙකට අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීම සහ අධීක්ෂණය යටතේ. ඒ කොළඹ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය (Metro Colombo Urban Development Project) මඟින්. කොළඹ නගරයේ වැසි ජල අපහරණය සහ පාලනය සඳහා නව මාර්ග දෙකක් සැලසුම් කර ඉදි කිරීම සඳහා වන ගිවිසුමට පසුගිය දා අත්සන් තැබුණා. ඒ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පෞද්ගලික සමාගමත් අතර.

අතීතයේ පටන් ම ප්‍රධාන වාණිජ නගරය ලෙස කොළඹ යොදා ගත්ත ද වැසි ජලය පාලනය සහ අපහරණය සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුයේ නැහැ. එහෙත්, ඉතිහාසයේ පටන් ම කොළඹ නගරය නිර්මාණයේදී යටිතල පහසුකම් හා ක්‍රමවත් බව ප්‍රමුඛ අවශ්‍යතාවයක්ව තිබුණා. පසුකාලීන ව අධික ජනගහනය වර්ධණය සහ අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් නිසා කොළඹ නගරයේ පරිසර පද්ධතිය ගැටලු රාශියක එකතුවක් බවට යි පත් වුණේ. මේ සියලු ගැටලු අවම කරමින් ජනතාවගේ සුබසිද්ධිය ඇති කිරීමත් පරිසර පද්ධතිය තුලනාත්මක ව පවත්වාගෙන යාමත් අරමුණු කරගෙන යි ක්‍රියාත්මක කිරීමට යෝජිත නව උමං මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන කොළඹ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියේ (Metro Colombo Urban Dovelopment Project) අධ්‍යක්ෂ තුෂාරි අන්ද්‍රාහැන්නදිගේ “2009 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසුව යි තීරණය වුණේ. කොළඹට බලපාන ජලය බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවට එහෙත්, ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න නිවැරදි ව තීරණය කර තිබුණේ නැහැ. එසේ වුවත් මේ පිළිබඳ ව කළ අධ්‍යයනයෙන් අප හඳුනාගත් ප්‍රධාන ඉංජිනේරු ක්‍රමවේදයක් වුණේ මේ නව උමං මාර්ග පද්ධති දෙක ඉදි කිරීමේ ව්‍යාපෘතිය යි. ඒ සඳහා යි මේ (Metro Colombo Urban Dovelopment Project) ක්‍රියාත්මක වෙන්නේ.

මෙහි ප්‍රධාන අවශ්‍යතාව වුණේ කොළඹ නගරයට පතිත වන වැසි ජලය නගරයෙන් පිටතට එනම්, මුහුදට හෝ කැලණි ගඟට හෝ මුදාහැරීමයි. එහි මුදාහැරීමේධාරිතාව ප්‍රමාණවත් නොවීම යි මේ වන විට තිබෙන ගැටලුව. යම් හෙයකින් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගිය හොත් කැලණි ගඟට වැසි ජලය මුදා හැරීම ද කළ නොහැකි යි. මේ නිසා කොළඹ නගරයේ වැසි ජලය මුදා හැරීමේ ධාරිතාව වැඩිකිරීමේදී අපට වඩාත් වාසිදායක වන්නේ එම ජලය මුහුදට මුදා හැරීම, කොළඹ ඇතුළත තිබෙන ඇළ මාර්ග පද්ධතිය කිලෝ මීටර් හතළිස් හතරක් වුවත් ජලය බැහැර කිරීමට මුහුදට යොදා තිබෙන්නේ වැසි ජලය අපවහනය කිරී‍ෙම් මාර්ග තුනක් පමණ යි. මේ මූලික අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා නව උමං මාර්ග පද්ධති දෙක නිම කරනු ලබන බව යි ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය සඳහන් කරන්නේ.

මේ ව්‍යාපෘතිය යටතේ උතුරු කොළඹ වැසි ජලය පාලනය සඳහා උමං මාර්ගය ඉදි කරනු ලබන්නේ මෝදර අලුත් මාවත සහ මුතුවැල්ල දක්වා. මේ වන විට එහි පවතින්නේ ඕලන්ද සමයේ ඉදි කළ උමඟක්, නව උමං මාර්ගයේ දිග මීටර් 760ක්. උමගේ විෂ්කම්භය මීටර් තුනක්. මෙහි විශේෂත්වය වන්නේ එමඟින් සමස්ත උතුරු කොළඹ කලාපයේ ම වැසි ජලය බැහැර කිරීමට හැකියාව ලැබීම යි. බෞද්ධාලෝක මාවත තුම්මුල්ල මංසන්දියේ සිට බම්බලපිටිය දක්වා යි දෙවැනි උමං මාර්ය ඉදි කරනු ලබන්නේ. දිගින් මීටර් 1100ක් වන එම උමගෙහි විෂ්කම්භය මීටර් 03ක්, දීර්ඝ කාලීන ව වැසි ජලය බැස නොයෑමේ තර්ජනයට ලක්වන තුම්මුල්ල මංසන්ධිය, තුරඟ තරඟ පිටිය, තර්ස්ටන් හා රාජකීය විද්‍යාල කලාපය ඇතුළු ප්‍රදේශ ගණනාවක ම වැසි ජල අපවහනය මේ මඟින් කළ හැකි බවට යි පුරෝකතනය කෙරෙන්නේ.

මේ ව්‍යාපෘතියේ ඉදි කිරීම සිදු වන්නේ මයික්‍රො ටනලින් නම් නව තාක්ෂණ ක්‍රමවේදයකට අනුව එමඟින් උමං හෑරීම සහ කොන්ක්‍රීට් කිරීම එකවර සිදුකළ හැකි නිසාකාන්දු වීම් ඇති නොවන බව යි සඳහන් වන්නේ. මිලි මීටර් 529 ක තරම්වූ අධික වර්ෂාපතනයකදී පවා ඉක්මනින් වැසි ජලය බැස යන පරිදි මේ උමං මාර්ග පද්ධතිය ඉදි කෙරෙන අතර ම මෙවැනි උමං මාර්ග පද්ධතියක් ඉදි කිරීම සඳහා ඉතා විශාල මුදලක් වැය නොවන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂිකා තුෂාරි අන්ද්‍රාහැන්නදිගේ සඳහන් කරනවා.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 5.2ක්. එසේ ම ව්‍යාපෘතිය වෙනුවෙන් පවුල් 63ක් පමණ ඉවත් කිරීමට සිදු ව තිබෙන අතර ඔවුන්ට පහසුකම් සහිත නිවාස ලබා දී ව්‍යාපෘතියට අත්පත් කර ගත් අනෙකුත් ඉඩම් වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව වන්දි ප්‍රදාන ද සිදු කෙරෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 600ක පමණ මුදලක් වෙන්කර තිබෙන බව යි සඳහන් වන්නේ.

නව ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක් වූ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ නගරය හා අවට ප්‍රදේශය ජලයෙන් යටවීම වළක්වා ගැනීම සඳහා ජලය බැස යාම විධිමත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ සඳහා ‍ෙඩාලර් මිලියන 321 ක විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඉන් ඩොලර් මිලියන 214ක් ම ලබා දෙන්නේ ලෝක බැංකුව මඟින්.

කොළඹ නගරය වැදගත් නගරයක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් ජල නළ පද්ධතිය අපජල පද්ධතිය සහ මලාපවහන පද්ධතිය විධිමත් විය යුතු යි. දැනට තිබෙන්නේ වසර 150ක් පැරණි පද්ධතියක්. එමඟින් නගරය විධිමත් ව පවත්වා ගෙන යා නොහැකි යි මතුපිටින් පමණක් ලස්සන කිරීමෙන් වැඩක් නැහැ. මෙහි යටින් තිබෙන්නේ ඉතා ම කැත යථාර්ථයක්. කොළඹ ජලය බැස යන මුතුවැල්ලේ උමඟ තනා තිබෙන්නේ ඕලන්ද සමයේ. ඒ උමඟ තැනීමෙන් පසු නගරය විශාල වශයෙන් ජනාකීර්ණ වෙලා. නමුත් විධිමත් ජලය බැස යාමේ ක්‍රියාවලියක් නැහැ. මේ නිසා අපි උමං සහ වසන ලද කානු පද්ධති ගණනාවක් ඉදි කිරීම ආරම්භ කළා.”

2020 වන විට ඉදි කර නිම කිරීමට සැලසුම් කර තිබෙන මේ උමං මාර්ග දෙකෙහි ඉදි කිරීම නිම වීමෙන් පසු ව බොහෝ කාලයක සිට සුළු වර්ෂාවකදී පවා අසරණ බවට පත් වූ කොළඹ ජනතාවට යම් කිසි සැනසුම් සහගත සහනයක් ලැබෙනු ඇති. එසේ වුවත් කොතරම් පිළියම් යෙදුව ද ජනතාව පරිසරයට දක්වන ලැදියාව යහපත් වන තුරු ස්වාභාවික ව මුහුණ දීමට සිදුවන යම් යම් ව්‍යසනවලින් ගැලවිය හැකි ද යන්න ගැටලු සහගතයි. තමන්ගේ ගේ දොර හෝ වෙනත් ගොඩනැඟිලි ඉදි කිරී‍ෙම්දී පරිසරයේ අවශ්‍යතාව බැහැර නොකරමින් ඊට අනුගතව සියලු දේ සිදු කිරීමට ඔවුන් දැන්වත් පුරුදු විය යුතු යි.

LEAVE A REPLY