ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් පිරිමැසුම් පන්තියේ පියාසරන ඔබට, විවිධත්වයෙන් යුතු ආහාර රැසක් සමග ඔබේ ප්‍රියතම ආහාරවේල කලින්ම ඇණවුම් කිරීමේ පහසුකම (Pre-Order Meal) උදාකර දී තිබේ.

නවීන විනෝදාස්වාද පද්ධතිය සමග ඉහළ මට්ටමේ සුවපහසු සේවාවක් ලබාදීම තවදුරටත් විදිමත් කරමින් මෙම පහසුකම සිය පාරිභෝගිකයන්ට ලබාදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියාසරන මගීන්ට බටහිර පන්නයට සකසන ලද උදේ අහාර, අරාබි පන්නයට සකසන ලද උදේ ආහාර, ඉන්දීය ක්‍රමයට සකසන ලද උදෑසන ආහාර සහ සෞඛ්‍යය සම්පන්න උදෑසන ආහාර ඇතුළු කෙටි ආහාර වර්ග විවිධත්වයකින් යුතුව තෝරාගත හැකි බවද කියයි. එසේම ප්‍රධාන ආහාර ලෙස පෙරදිග ක්‍රමයට සැකසූ ආහාර වේල් සැමන් ස්ටේක්, චිකන් ලම්ප්‍රයිස්, ෆිලේ ස්ටේක්, හොට් ඩෝග්, ෆිෂ් ෆීටර්ස් (Fish Fritter), බීෆ් බර්ගර් සහ සී ෆුඩ් පයි (Seafood Pie) යන ආහාර වේල් ඇණවුම් කළ හැකි බවත්, ඇ.ඩො.10 සිට ඉහළට මෙම සේවාව ලබාගත හැකි බවත් සඳහන්ය.

මෙම සේවාව ලබාගැනීම සඳහා ගුවන් මගීන් පියාසැරියට පැය 48කට පෙර ඇණවුම් සිදුකළ යුතුය. එහිදී, කොළඹ සිට ලන්ඩන්, බැංකොක්, කැන්ටන්, ජකර්තා, හොංකොං, ක්වාලලම්පූර්, මෙල්බන්, ටෝකියෝ, බීජිං, ෂැංහයි, සිංගප්පූරුව, අබුඩාබි, බහරේන්, දමාම්, දෝහා, ඩුබායි, ජෙඩා, කුවේට්, මස්කට්, රියාද් සහ සීෂෙල්ස් සඳහා මෙම පහසුකම පවතින අතර, ඉන්දියාව සහ මාලදිවයින වෙත තවම මෙම පහසුකම නොමැති බවද සඳහන් කරයි.

ඕනෑම දුරකථන සේවාවකින් 1979 හෝ +94 777 77 1979 යන අංකය අමතා පැය 24 පුරා විවෘත ශ්‍රී ලංකන් ගෝලීය සබඳතා මධ්‍යස්ථානය මගින් ආහාරවේල ඇණුවම් කළ හැකි අතර, මෙනුපතේ ඇති සියලු කෑම වර්ග http://www.srilankan.com/en_uk/flying-with-us/premium-meals යන වෙඩි අඩවියට පිවිසීමෙන් තෝරාගත හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.

LEAVE A REPLY