රටක දියුණුව සඳහා නිරෝගීමත් ජාතියක පැවැත්ම අත්‍යවශ්‍යය. රටක දියුණුව මැන බලන සංවර්ධන නිර්ණායකයක් ලෙස ආයු අපේක්ෂාව, සෞඛ්‍ය සේවාවේ දියුණුව සැලකෙන්නේ ද ඒ නිසාවෙනි. මෙලොව උතුම්ම සැපත නිරෝගී සැපතයැයි සම්බුද්ධ දේශනාවේ ද දැක්වෙයි. නිරෝගී ජාතියක් ශක්ති සම්පන්න රටකට ආශිර්වාදයකි.

එහෙත් මිනිසා කෙරෙන් යහපත් සෞඛ්‍ය පුරුදු ගිලිහෙන්නට පටන් ගැනීමත් සමඟ බෝ නොවන රෝගවල ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු‍ රෝගය එවැන්නකි. මීට කලකට ඉහත දී අපට වකුගඩු රෝගය වැළඳුණු පුද්ගලයෙකු පිළිබඳ අසන්නට දකින්නට ලැබුණේ අල්ප වශයෙනි. එහෙත් එය අද ඇතැම් ප්‍රදේශයන්හි ජනතාව මුහුණ දෙන සමාජ හා ආර්ථික අර්බුදයක් බවට පත්ව තිබේ. ඇතැම් පවුල්වල වකුගඩු රෝගීන් දෙතුන්දෙනා වාර්තාවීමේ සිදුවීම් ද ඒ අතර වීම කනගාටුදායකය. කලකට ඉහත දී පිරිමි පුද්ගලයන්ට බහුලව වැළඳුණු මේ වකුගඩු රෝගය මේ වන විට කාන්තාවන් මෙන්ම ළමයින් අතර ද ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පවතී.

ජාතික ගැටලුවක් වශයෙන් වකුගඩු රෝගය හඳුනා ගනිමින්, ඒ සඳහා පිළියම් යෙදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩසටහනක් නිර්මාණය කරන්නේ එහි වැදගත්කම පිළිබඳ ඇති සැබෑ අවබෝධය නිසාවෙනි. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම සඳහා වන හේතුව මෙතෙක් හඳුනාගෙන නැතත් ජල මූලාශ්‍ර අපවිත්‍රවීම ඇතුළු හේතු රැසක් මේ වකුගඩු රෝගයට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය, නවගත්තේගම ප්‍රාථමික විද්‍යාලය, දංකොටුව මැටිකොටුව නෙළුම් උයන යන ස්ථාන ත්‍රිත්වයේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති තුනක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් තිස්සමහාරාමයේ යෝධකණ්ඩිය ග්‍රාමයේ උද්දකන්දර රජමහා විහාරස්ථානයේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක් සකස් කිරීමට උපදෙස් ලබා දෙන ලදී. ඒවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (24) ජනතා අයිතියට පත් කෙරිණි. මේ පද්ධති හතර සමඟ දිවයින පුරා පිහිටුවා ඇති මෙවැනි පද්ධති ප්‍රමාණය 450 සීමාවට ළඟා වේ.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ සහ විවිධ දානපතීන්ගේ මූල්‍ය දායකත්වය මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මේ ජල පද්ධති ස්ථාපිත කරයි. ඒ සඳහා රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් රජය විසින් වැයකර ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගය නිවාරණය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයේ සිට විශේෂ අවධානයක් යොමු කළ වකුගඩු රෝග නිවාරණය සඳහා මේ දක්වා සිදු කළ මෙහෙය අපරිමිතය. මූලික වශයෙන්ම රජරට ප්‍රදේශයෙන් හඳුනාගත් මේ වකුගඩු රෝගය මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබීම කනගාටුවට කරුණකි.

ඒ අනුව මේ දක්වා ජනතා අයිතියට පත්කර ඇති මුළු ප්‍රතිආශ්‍රැතිකරණ පද්ධති 450 මගින් ලක්ෂ එකොළහක පමණ ජනතාවට සෙත සැලසෙන අතර මේ එක් පද්ධතියක් ඉදිකිරීම සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායෙන් වෙන් කරන වියදම රුපියල් මිලියන 1.5 ක් පමණ වේ.

මේ තත්ත්වය මේ වන විට රටේ පවතින විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති අතර ආර්ථික සහ සමාජයීය වශයෙන් ද විශාල අර්බුදයක්ව ඇත. මේ ප්‍රධාන ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වකුගඩු රෝග නිවාරණයට අදාළ කාර්යයන් වඩාත් සංවිධානාත්මකව මනා සම්බන්ධීකරණයකින් යුතුව සිදු කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය කටයුතු කරයි.

මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් නන්දෙසින් ලැබෙන ජනතා ප්‍රතිචාර ද ඉතා ඉහළය.

“උතුරුමැද පළාතට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට අයත් අංක 285 තුලාන, තිබ්බටුවාගම ගම්මානයේ ජීවත්වෙන පවුල් 250කට ආසන්න පිරිසකගේ පානීය ජල ගැටලුව පිළිබඳ ජනාධිපතිගේ අවධානය යොමුකරමින් විහාරස්ථාන භූමියේ ප්‍රතිආශ්‍රැතිකරණ පද්ධතියක් සවිකරදීමෙන් අදාළ ගැටලුව විසඳීම වෙනුවෙන් ගම්වාසී සියලුදෙනා වෙනුවෙන් උන්වහන්සේගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

තිබ්බටුවාගම ශ්‍රී විජයරාම විහාරාධිපති සුමනවංශ හිමි –

මේ වනතුරු දිස්ත්‍රික් එකොළහක් පුරා ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝග වසංගත තත්ත්වය මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ ද පැතිරීමේ අවදානමක් පවතින අතර ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් මේ වන විට ගනිමින් සිටියි. ඉදිරියේදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ මුල් අවධියේ සිට ‍එම රෝගී තත්ත්ව හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය පිළියම් යොදමින් වකුගඩු රෝග නිවාරණයට අදාළ සියලු සැලසුම් මේ වන විටත් කඩිනම් පියවර ගැනීමට සැලසුම් සම්පාදනය කර තිබීම සතුටට කරුණකි.

අද දිනයේ දී ජනතා අයිතියට පත් කෙරෙන ප්‍රති ආශ්‍රැතිකරණ පද්ධති මගින් උපරිම ප්‍රයෝජන ගැනීම හා ඒවා ආරක්ෂා කර ගැනීම ජනතාව ලෙස අපට පැවරෙන වගකීමක් හා යුතුකමක් වන්නේය.

LEAVE A REPLY