පරිසරයට නිදහස් වූ පසු දිරාපත් වන පානීය ජල බෝතලයක් නිර්මාණය කෙරේ. නව බෝතලය සකස් කර තිබෙන්නේ කඩදාසි සහ ශාකමය ද්‍රව්‍යය මිශ්‍රණයක් යොදා ගනිමිනි. එම ශාකමය ද්‍රව්‍යය මිශ්‍රණය කවරක්ද යන්න මේ වනතුරුත් අනාවරණය වී නොමැත. කඩදාසි ජල බෝතලය නිර්මාණය කෙරුණේ දැනට භාවිතයේ ඇති ප්ලාස්ටික් පානීය ජල බෝතල්වලට විකල්පයක් හැටියටය. නව බෝතලයේ නිර්මාණකරු, බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු වන ජේම්ස් ලෝන්ග්ක්‍රොෆ්ට් නමැති තරුණයෙකි.

ජලය ගබඩා කර තැබීමේදී කඩදාසි පෙ‍ඟෙන බැවින් ජල වාරකයකින් හෙවත් වෝටර්ෆෘෆ් එකකින් නව බෝතලයේ ඇතුළු පැත්ත ආවරණය කර තිබේ. බෝතලය සකසා ඇති කඩදාසිවලට ජල වාරකය අලවා තිබෙන්නේ ශාකමය ද්‍රව්‍යය මිශ්‍රණයකිනි.

“…ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ හැකි කඩදාසිවලින් බෝතලයේ පිට පැත්ත සකසා තිබෙන්නේ. ඒ වුණත් ඇතුළු පැත්ත ජල වාරක විය යුතුයි. ඒ නිසා ජලය ගබඩා කළ හැකි පරිදි ඇතුළු පැත්ත සකසා තිබෙනවා. ඒ හැරුණු විට මෙහි භාවිතයට ගෙන තිබෙන්නේ ශාකවලින් ලබාගත් දේවල්. ඒවා හැම දෙයක්ම ස්වාභාවිකයි. කොහොම වුණත් මේ බෝතලය ශක්තිමත්. ප්ලාස්ටික් ජල බෝතලයක ඇති ජලය කෙතරම් නැවුම්ද, මෙතුළ ගබඩා කර ඇති ජලයත් එපමණටම නැවුම්. …”යැයි කියා ජේම්ස් මාධ්‍යට පවසා තිබිණ.

මේ අන්දමේ බෝතලයක් පරිසරයට මුදා හැර පැයක් පමණ ගත වන විට එය දිරාපත් වීමේ ක්‍රියාවලිය ඇරඹේ. බෝතලය පසෙන් යට වී ගියත් දිරාපත් වීම සිදු වේ. නව බෝතලය සාගරයකට මුදා හැරියහොත් සති තුනකින් දිරාපත් වී අවසන් වන බව ජේම්ස් සඳහන් කරයි. වානේ අඩංගු රසායනික මිශ්‍රණයකින් තනන ලද වැස්මක්, බෝතලයේ මූඩිය හැටියට භාවිතයට ගැනේ. මේ වැස්ම පරිසරයට එකතු වී වසරක් වැනි කාලයක් තුළ දී ක්ෂය වී යයි. සාමාන්‍ය ප්ලාස්ටික් වතුර බෝතලයක් නිපදවීමට වැයවන මුදලට වඩා පවුම් ශත හතක් නව බෝතලය නිෂ්පාදනය කිරීමට වැය වේ. ඒ නිසා දැනට පවත්නා තත්ත්වයට, ආර්ථිකමය වශයෙන්ද එමඟින් වැඩි බලපෑමක් එල්ල නොකෙරේ.

ජේම්ස්ගේ නව නිර්මාණය බ්‍රිතාන්‍යයයේ “චූස් වෝටර්” නමැති පානීය ජල සමාගම භාවිතයට ගැනීමට එකඟ වී තිබේ. කෙසේ වුවත් මේ බෝතලය තවමත් නිෂ්පාදනය කෙරෙන්නේ අතිනි. එනිසා මහා පරිමාණ වශයෙන් බෝතලය නිෂ්පාදනය කිරීමට හැකි මඟක් සකසා ගන්නට ජේම්ස්ට සිදුව තිබේ.

ජේම්ස්, පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සමාගමක හිමිකරුවෙකි. ඔහු එය ආරම්භ කළේ මෙයට දෙවසරකට පමණ පළමුවයි. මේ සමාගම උපදවන ආදායම් සියල්ලක්ම ඔහු යොදවන්නේ අප්‍රිකා රටවල පානීය ජල ගැටලු විසඳීම සඳහා ය. ජලය පරිහරණයෙන් පසු හිස් වන ප්ලාස්ටික් බෝතල් පරිසරයට හෙලීමෙන් සිදුවන බරපතළ විනාශය ඔහුට දැඩි ලෙස අවබෝධ වූයේ සිය සමාගම පවත්වාගෙන යන අතරතුරය. ඒ සඳහා විසඳුමක් සොයන්නට ජේම්ස් මාස ගණන් වෙහෙස වූයේය. සිය නිවහනේ මුළුතැන් ගෙට වැදී කඩදාසිවලින් නව බෝතලයක් නිර්මාණය කරන්නට වරක් ඔහු වෙහෙස වුණු බව සඳහන් වේ. එම උත්සාහය අත් නොහැර මාස ගණනක් පුරා ඔහු පරීක්ෂණ පැවැත්වී ය. කඩදාසි සහ ශාකමය ද්‍රව්‍යවලින් කළ දිරාපත් වන බෝතලය නිර්මාණය කරගන්නට ඔහු සමත් වුණේ එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙනි.

වරක් පමණක් භාවිතයට ගෙන ඉවත හෙලන ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා ලෝක ආර්ථිකයෙන් බ්‍රිතාන්‍ය පවුම් බිලියන 65ත් 92ත් අතර මුදලක් වැය කෙරෙන බව අනාවරණය වී තිබේ. ප්ලාස්ටික් ජල බෝතල් නිෂ්පාදනයට ඉන් සෑහෙන මුදලක් වැය වේ. නව බෝතලය කාර්මික මට්ටමෙන් නිපදවා ගැනීමට හැකි වුවහොත් එතරම් ධනයක් වැය කර, සෑම වසරක් පාසාම මුහුදට එකතු කරන ටොන් මිලියන 8ක් තරම් බරැති ප්ලාස්ටික් ජල බෝතල් කන්දරාව නවත්වා ගැනීමට හැකි වනු ඇත. ට්‍රක් රථයක් පුරවාලිය හැකි තරමේ ප්ලාස්ටික් ජල බෝතල් ප්‍රමාණයක් සෑම මිනිත්තුවකදීම ලෝ පුරා ඇති සාගරවලට එකතු කෙරෙන බව විද්‍යාඥයෝ පවසති. ප්ලාස්ටික් ජල බෝතලයක් කොටස්වලට බිඳ වැටෙන්නට වසර 450කට වඩා වැඩි කාලයක් ගත වේ. 2050 වසර වනවිට සාගරවල සිටින මත්ස්‍යයන්ට වඩා සාගරවල පවතින ප්ලාටික් ප්‍රමාණය ඉහළ යනු ඇති බවටත් මත පළව ඇත.

සාගරවලට එකතු කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ රටවල් පහක් වීම විශේෂත්වයකි. චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය යන රටවල් මෙන්ම ශ්‍රී ලංකාවත් ඒ රටවල් පහ අතර සඳහන්ව තිබීම කනගාටුවට කාරණයකි.

mail online ඇසුරෙනි

LEAVE A REPLY