යතුරුපැදිවලින් සහ ත්‍රීරෝද රථවලින් ඊයේ හා අද දිනයේ දී වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මහපාරේ සිටම දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ දිනවල ගලේවෙල පොලිස් ස්ථානය ඉදිරිපිට දී සිදුකර තිබේ.

වන්දනාවේ යන මෙම බැතිමතුන් මාර්ග නීති උල්ලංඝනය කරමින් ඉතා අශෝභන ආකාරයෙන් මාර්ගයේ ගමන් කරන බවත් එමෙන්ම හිස් වැසුම් නොමැතිව මෙන්ම විදුලි පහන් දල්වාගෙන පරිසරයට ශබ්ද දූෂණය එකතු කරමින් ගමන් කරමින් සිටින මෙම පිරිස නවතා ඔවුන්ට ජීවිතය පිළිබඳව ඇති අවබෝධතාවය සහ මිනිස් ජීවිතයක වටිනාකම කියාදීමට ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතා ක්‍රියා කළේය.

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ රථවාහන අංශයේ නිලධාරීහු ගලේවෙල පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ මෙසේ නීති විරෝධී අන්දමින් ‍මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි නිරීක්ෂණය කොට ඒවා පොලීසිය ඉදිරිපිටම නවතා රියදුරන්ට සහ පිටුපස අසුන්වල වාඩි වී යන බැතිමතුන්ට මේ බව පහදා දීම විශේෂත්වයකි.

මාර්ග නීති පිළිබඳව සහ මිනිස් ජීවිතයේ වටිනාකම පිළිබඳව ලියැවුණු පත්‍රිකාවක්ද මෙම සියලු දෙනාටම ලබා දී එම පත්‍රිකාව ද කියවා නැවත ගමන් බිමන් යෑම සඳහා අවස්ථාව උදාකර දීමට පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියා කළේය.

වෙසක් පුන් පොහෝ දින සහ අද දින මෙන්ම දිනපතාම මෙම ක්‍රියාවලිය සිදුකරනු ලැබූ බව පොලිසිය කියයි.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගතවූ මාසයේ ගතවූ මාස හතරක රියඅනතුරුවලින් පුද්ගලයන් දොළොස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලැබූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා යතුරු පැදි හා ත්‍රීරෝද රථ රියදුරන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම හෙට දවස රට භාර ගැනීමට ඉන්න තරුණයන් මෙයාකාරයෙන් මහ මඟ මියැදෙන්නට ඉඩ නොදී ජීවිත ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීම බව ද පොලිස් ස්ථානාධිපතිවරයා රියදුරන්ට දැනුවත් කළේය.

ප්‍රධාන මාර්ගය ඉදිරිපිට යතුරු පැදි හා ත්‍රීරෝද රථ කොටසින් කොටස නවතා මාර්ගය අසලට පුටුවක් රැගෙන විත් පුටුව උඩටනැග ස්ථානාධිපතිවරයා මෙම විශාල ජනතාව ඇමතීම විශේෂත්වයකි.

පොලිසිය රාජකාරියෙහි යෙදී සිටින්නේ රියදුරන්ට නඩු දැමීමට නොව රිය අනතුරු අවම කරමින් ජීවිත ආරක්ෂා කිරීමට බවද හෙතෙම රියදුරන්ට පෙන්වා දුන්නේය.

වන්දනාවේ පැමිණි බොහෝ ත්‍රීරෝද රථවල සහ යතුරුපැදිවල ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යන ආකාරය ද පොලිසියේ නිරීක්ෂණයටක් වූහ.

ඇතැම් යතුරුපැදිවල පැදිකරු සහ තවත් හතර දෙනෙකු ගමන් කරන අයුරුද පොලිසිය නිරීක්ෂණය කිරීම විශේෂත්වයකි.

ඇතැම් ත්‍රීරෝද රථවල මගීන් දහයකටත් වඩා අධික පිරිසක් ගමන් කරමින් තිබූ බව ද පොලීසිය කියයි.

එකම පවුලේ පිරිස් මේ ආකාරයෙන් ගමන් කිරිදි හදිසි අනතුරක් සිදුවූ විට මුළු පවුලම විනාශ වන බවද පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ට අවවාද කළේය.

LEAVE A REPLY