දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු වී වසරක තරග තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් ඉදිකිරීම් වැඩ බිමක රැකියාවේ නිරත වන බවට වාර්තා පළවීමත් සමඟ ලොව බොහෝ දෙනාගේ අවධානය ඔහු වෙත යොමු විය.

නමුත් ඊට අදාළව පළ වී ඇති ඡායාරූපවල සත්‍ය පැතිකඩ ලෙස වාර්තා වන්නේ ඩේවිඩ් වෝනර් තමන්ගේම නව නිවෙසේ ඉදිකිරීම් සඳහා අත්උදවු දෙන ආකාරයයි. ඩේවිඩ් වෝනර්ගේ බිරිය වන කැන්ඩිස් වෝනර් විසින් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය වෙත එක් කර තිබුණු වීඩියෝවකින් සහ ඡායාරූප මඟින් ඒ බව සඳහන් කර තිබිණි. කැන්ඩිස් විසින් එක් කර තිබුණු ඡායාරූපවල වෝනර්ගේ දියණියන් දෙදෙනාද සිටිනු දක්නට විය.

කෙසේ වෙතත් නැඟෙනහිර සිඩ්නි හි අලංකාරවත් වෙරළ තීරයක අලුතින් ඉදිවෙන ඩේවිඩ් වෝනර්ගේ මහල් 5කින් සමන්විත මන්දිරය ඩොලර් මිලියන 10ක වටිනාකමකින් යුක්ත බවත් 2015 වසරේදී වෝනර් යුවළ ඩොලර් මිලියන 4ක් වැය කර මන්දිරය ඉදිවන බිම් කොටස මිලදීගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

වෝනර් පවුල මේ වන විට ඔවුන්ගේ අලුතින් ඉදිවන මන්දිරය අසල නිවෙසක වාසය කරන අතර 2017 වසරේදී එම නිවෙස මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 2.3ක් වැය කරමිනි.

  • පුවත් මුලාශ්‍රය – www.mawbima.lk

LEAVE A REPLY