පාර්ලිමේන්තුවේ නව සැසිවාරයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩකටයුතු ආරම්භ කරන ලෙසට ජනාධිපතිවරයා 24දා ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කරයි.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලනිප මූලස්ථානයේදී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා මෙසේද කීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපතිවරයා නැවත වරක් ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වූ අයුරු අප දැක්කා. පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයෝ 53 දෙනාම මුණගැහෙන්නත් එතුමාට අවස්ථාව උදා වෙලා තිබුණා. එතුමා මා සමඟ ඒ බව පැවැසුවා. මීට පෙර ඔය වැනි සමුළුවලට සහභාගි වූ අවස්ථාවන් ගත්තාම අතීතයේදී විශාල මුදල් වැය කරමින් තමයි සිද්ධ වුණේ. ඒ කාලේ රාජ්‍ය නායකයෝ විශාල මුදලක් දැරුවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මෙවර ජනාධිපතිවරයා සමඟ විදේශ ඇමැති මංගල සමරවීර ඇමැතිතුමා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා තමයි නිල කණ්ඩායමේ හිටියේ. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගි වුණා. බොහෝම අඩු වියදමකින් තමයි මෙවර ඒ සමුළුවලට සහභාගි වුණේ. වියදම අඩුයි. ලැබුණු ප්‍රතිලාභ බැලුවම ජනාධිපතිවරයා රටට විශාල ආයෝජනයක් කර තිබෙනවා.

කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වූ පසු 24දා අපි තුන්වතාවක් ජනාධිපතිතුමා සමඟ රැස්වෙලා සාකච්ඡා කළා. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීපු හිටපු ඇමැතිවරු 16 දෙනාගේ මතයට සවන් දෙන්නත් ජනාධිපති කටයුතු කළා. ඉන් අනතුරුව හවස 7ට අපි 39 දෙනාම පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට එතුමා එක්ක කතා කළා.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැනත්, මැයි දින රැලිය ගැනත් එහිදී සාකච්ඡා කළා. ඊට පස්සේ මධ්‍යම කාරක සභාව රැස්වුණා. එහිදීත් දිගින් දිගටම කතා කළේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැනයි. මෙවර මැයි දින රැලිය මඩකළපුවේ පැවැත්වීමට තීරණයක් ගත්තා. මැයි 7දා පවත්වනවා. පෙළපාළියක් නැහැ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන කතා කරද්දී ජනාධිපති කිව්වේ මැයි 8දා අලුත් පාර්ලිමේන්තු සැසිවාරයේදී නව ප්‍රතිපත්තිය දැනුම් දෙනවා. ආණ්ඩුව වෙනුවෙන් එම ප්‍රකාශය කළාට පස්සේ මැයි 8දා සිට 15දා අතර ප්‍රතිසංවිධාන වැඩකටයුතු ආරම්භ කරමු කියලා.

ඊට අමතරව ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිපයේ මැති ඇමැතිවරු පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ආණ්ඩුවේ කොටසක් හැටියට කටයුතු කරන බව ප්‍රකාශ වුණා.

එතැනදී මාත් පෞද්ගලිකව අදහස් දක්වලා ජනාධිපතිතුමා පසුගිය කාලවකවානුවේ කොහොමද කටයුතු කළේ කියලා උදාහරණ පෙන්නුවා. විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වුණු යෝජනා ගැන කතා කරද්දී විදේශ විනිසුරුවරුන් ලංකාවට ගෙන්න ගන්න සිද්ධ වෙන වගන්තිය ගැන අවධානය යොමු කරලා ජනාධිපතිතුමා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා කිව්වේ කිසිසේත්ම විදේශ විනිසුරුවරුන් ගෙන්වන්නේ නෑ කියලා. රට ගැන හිතලා වැඩ කරන නායකයෙක් අපට ඉන්නවා. ආණ්ඩුවේ සම කොටස්කරුවෝ හැටියට ශ්‍රී ලනිපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් නිවැරැදිව ආණ්ඩුව ගමන් කරවන්න දායක වෙනවා.
මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

කැබිනට් සංශෝධනයක් ගැන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළේ නැහැ. ඒක ජනාධිපති හා අගමැතිතුමා අතර කෙරෙන සාකච්ඡාවකින් තීරණය වෙයි. නමුත් මගේ අදහස නම් කඩිනමින් කැබිනට් සංශෝධනයක් සිදු වෙනවා නම් හොඳයි.

අමාත්‍ය ධුරවලින් ඉවත්ව සිටින 16 දෙනා දරන තීරණය ගැන මා හරියට උත්තරයක් දෙන්න දන්නේ නෑ. මැයි දින උත්සවය සමරන්න ඔවුන් විපක්ෂයේ වාඩි වෙන කතාවක් කොහොමත් සාකච්ඡා වුණේ නෑ. මැයි 8දා අලුත් පාර්ලිමේන්තුවේදී දැන ගන්න පුළුවන් ඔවුන් කොහෙද වාඩිවෙලා ඉන්නේ කියලා.

ඔවුන් විපක්ෂයට වාඩි වෙන එක ගැන මධ්‍යම කාරක සභාවේදී කතා කළේවත්, ඡන්දයක් ගත්තේවත් නෑ. ඒක මාතෘකාවක් වුණේ නෑ. කවුරුත් අපිට බල කළෙත් නෑ ආණ්ඩුවෙන් ඉවත් වෙලා එන්න කියලා. ඒ වගේම අපි බල කරන්න ගියෙත් නෑ විපක්ෂයේ වාඩි නොවෙන්න කියලා. නැවත මොවුන් ආණ්ඩුවට එනවා කිව්වොත් අපි සටන් වදිනවා ඔවුන්ට ඒවා ලබා දෙන්න. මොකද අපි අතර බෙදීමක් නැහැ.

පහන් විජේසේකර
ඡායා – සරත් කුමාර

LEAVE A REPLY