ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බ්‍රිතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ඊයේ(18) පස්වරුවේ ලන්ඩන් නුවරදී හමුවූ ලියම් ෆොක්ස් මහතා මේ බව සඳහන් කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලියම් ෆොක්ස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළ ද අන්තර්ගත කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත්‍රයේ ද සුවිශේෂී ප්‍රගතියක් සිදුව තිබෙන බවයි. සියලු රටවල් සමඟ මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් ශ්‍රී ලංකා රජය ගෙන යන මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය තුළින් මාතෘ භූමියට ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට හැකිවී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විදුලිබල උත්පාදන ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කෘෂිකාර්මික සහ පශු සම්පත් ක්ෂේත්‍ර පිළිබඳ ද ප්‍රමුඛතාවක් ලබාදී තිබෙන බවයි.

බ්‍රිතාන්‍ය රජය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලබාදෙන සහාය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.

මේ අතර ශ්‍රී ලංකාවට ඉතාමත් හිතවත් අයුරින් කටයුතු කරන බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු සභික බාරෝන් නෙස්බි(Baron Naseby) සාමිවරයා ද ලන්ඩන් නුවරදී ජනාධිපතිවරයා මුණ ගැසිණි.

ශ්‍රී ලංකා රජය අද ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල මෙහිදී අගය කළ නෙස්බි සාමිවරයා ශ්‍රී ලංකාවේ සැබෑ මිත්‍රයකු ලෙස ඒ වෙනුවෙන් ලබාදිය හැකි සියලු සහය ලබාදෙන බවට ද සහතික විය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සංහිඳියා සහ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ද අගය කළ සාමිවරයා පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව ඉටුකරමින් සිටින කාර්ය භාරය ලොව අන් රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පවතින බව ද කියා සිටියේය.

එම වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි සහ ප්‍රමාණවත් තොරතුරු යුරෝපීය රටවලට සහ ජිනිවාවලට නිසි පරිදි නොලැබීම කනගාටුවට කරුණක් වන අතර, එම සත්‍ය තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට තම උපරිම සහය ලබාදෙන බවට ද සහතික විය.

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රටේ සංවර්ධන සහ සංහිඳියා වැඩපිළිවෙල වෙනුවෙන් නෙස්බි සාමිවරයා ලබාදෙන පෞද්ගලික මැදිහත්වීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය.

 

තිරසර සංවර්ධනයට ජීවය දෙන්න පොදු රාජ්‍ය මණ්ඩලය කැපවිය යුතුයි

සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකඟ වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව ක්‍රියාවට නංවා,එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලු රටවල් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ (18) ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

රජය, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය යන ක්ෂේත්‍රවල ප්‍රධාන පාර්ශවකරුවන් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

එහි ප්‍රධාන දේශනය සිදුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගා වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු සහ පෞද්ගලික සහයෝගීතාවයේ වර්ධනය අතිශයින් වැදගත් බවයි.

සමාජයේ වගකීම් සහගත පිරිසක් ලෙස සිය ව්‍යාපාර කටයුතුවලදී තාක්ෂණික සහ මූල්‍යමය දායකත්වය තුළින් තිරසර සංවර්ධන ඉලක්ක ළගාකර ගැනීමට දායකවන්නැයි ද මෙහිදී සියලු ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් රටවල් සමඟ අත්වැල් බැඳගනිමින්, සමාජීය වගකීම සහ සියලුදෙනා ඇතුළත් කර ගන්නා සංවර්ධනයක් සපථ කිරීමට කැපවන ලෙසද සියලුදෙනාට ආරාධනා කෙළේය.

ශ්‍රී ලංකා රජය, තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වේගවත් සහ යාවත්කාලීන කිරීම සඳහා තිරසර සංවර්ධනය පිළිබඳ විශේෂ වූ අමාත්‍යාංශයක් ද පිහිටුවා තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා නීල හරිත ආර්ථික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ අනෙකුත් ස්වභාවික සම්පත්වල සම්පූර්ණ උපයෝගීතාවය පරිසරහිතකාමී සහ තිරසර භාවිතයෙන් යුතුව සනාථ කරනු ඇතැයි ද සඳහන් කෙළේය.

මෙම ආර්ථික උපක්‍රම හරහා වූ යහපත් ක්‍රමවේද ආමන්ත්‍රණය කිරීමේ පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

LEAVE A REPLY