අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයෙන් ගෙන ආ විශ්වාසභංගය ජයග්‍රහණය කළේ නම් එයින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මෙන්ම රටටත් අනතුරක් විය හැකි බව පෙණුනු නිසා පක්‍ෂයේ බහුතරය ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ බලාපොරොත්තුව වූයේ අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීම නොව විශ්වාසභංගය හරහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට සිටින කණ්ඩාමත් දෙකඩ කර පක්‍ෂයේ බලය ලබාගැනීමත්, ඉන්පසු දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ඉවත් කිරීමත් බව ඔවුන් කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අගමැතිවරයා ඉවත් කිරීමෙන් පසු පත්වන නායකත්වයක් ගැන සඳහන් නොකර කපිතාන්වරයෙකු නැති නැවක ආකාරයෙන් විශ්වාසභංගය ගෙනඒමෙන් හා විවාදය පවා දියාරු ආකාරයෙන් ගෙනයාමෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයි ද අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා කීවේය.

එයින් සිදුවූයේ ශ්‍රී.ල.නි.පය මත දෙකකට බෙදීයාම පමණක් බව කී අමාත්‍යවරයා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍ය එස්.බී දිසානායක මහත්වරුන් ඡන්දය දීමෙන් වැළකී සිටීමට එකඟ වී පසුව විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන් බවද කියා සිටියේය.

කැබිනට් ඇමතිවරු ලෙස සිටිමින් රජයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමේ හැකියාවක් නැති බව කී ඇමතිවරයා විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දයදීමට පක්‍ෂ බහුතරය තීරණය කළහොත් අමාත්‍යධූරවලින් අස්වී එසේ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා, තමන් ඇතුළු පිරිස යෝජනා කර තිබූ බව ද පැවසීය.

අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ විශ්වාසභංගය නිසා කැඩී විසිරී තිබූ එ.ජා.පය ශක්තිමත් වූ බව කී අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණ වූයේ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය තුළ තනි කිරීම වුවත් පිරිසක් ඡන්දයට නොයෑමෙන් එය වැළකුණ බව ද සඳහන් කළේය.

රජය ඉදිරියේදී කළ යුත්තේ සිදුවූ දේ ගැන මරණ පරීක්‍ෂණ පැවැත්වීම නොව සියලූ දෙනා නිවැරදියි කියා සිතාගෙන එක් පෙරමුණක් ලෙස කටයුතු කරමින් ජන ජීවිතය ශක්තිමත් කිරීම හා ආර්ථික සංවර්ධනය ඇතිකිරීම බව ද ඇමතිවරයා කීවේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමින් විශ්වාසභංගයට අත්සන් තැබූ මැති ඇමතිවරුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන්ම විශ්වාසභංග යෝජනාවේ අසාර්ථකත්වය පෙන්නුම් කරන්න බවයි.

එම විශ්වාසභංගයට හෝ ශ්‍රී.ල.නි.පයේ අය ඒ සම්බන්ධයෙන් ගත් තීන්දුවලට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කිසිම සම්බන්ධයක් නැතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

විශ්වාසභංගයේ තීරණය කුමක් වුවත් තමන් ආණ්ඩුව කළ යුතු නිසා එයට සම්බන්ධ නොවන බව ජනාධිපතිවරයා කීවේ යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ විශ්වාසභංගය ජයග‍්‍රහණය කළේ නම් රට අරාජිකවීමට ඉඩ තිබූ බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජය වුවහොත් රටේ ඊළග අගමැතිවරයා කවුරුන්ද යන්න හෝ ඊ ළඟට නම් කරන අගමැතිවරයාට බහුතර බලය සකස්කරගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය සහය දෙන්නේද යන්න ගැන ඔවුන් ප‍්‍රකාශ කර නොතිබූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමේ බහුතරය රට ගැන සිතා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි බව ඇමතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY