ගර්භණී හෝ පසු ප‍්‍රසව සමයේ උණ වැළඳුණු මව්වරු පළමු දිනයේම රෝහල් ගතකරන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යංශය උපදෙස් දෙයි.

එවැනි මව්වරුන් පළමු දිනයේම රෝහල් ගත කරන ලෙස සියලූම වෛද්‍යවරුනට, පුද්ගලික වෛද්‍යවරුන්ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වනවිටත් උපදෙස් නිකුත් කර ඇතැයි එම කාර්යංශය කියයි.

ඩෙංගු සහ ඉන්ෆ්ලූවෙන්සා රෝග වලදී ගර්භණී මව්වරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග‍්‍ර සංකුලතා වලට ලක්විය හැකි බැවින් මෙසේ වහා රෝහල් ගත කරන ලෙස උපදෙස් දුන් බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවැසීය.

ඉන්ෆ්ලූවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ පළමු මාතෘ මරණය පසුගිය සතියේ වාර්තා වූ අතර 2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලූවෙන්සා නිසා ගර්භණී මව්වරු 40 කට පමණ ජිවිත අහිමි වූ බවත් හෙතෙම කියා සිටියේය.

උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප‍්‍රසව මව්වරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මව්වරුනට නිසි ප‍්‍රතිකාර ලබා දිය හැකි බව ද වෛද්‍ය ජයරත්න කියා සිටියේය.

LEAVE A REPLY