ජාත්‍යන්තර ලෝකය සීග්‍රයෙන් වෙනස්වෙමින් පවතී. එහි සිදුවන සෑම වෙනසක්ම අපේ රට කෙරෙහි මෙන්ම අපේ ජීවිත කෙරෙහිද බලපායි. ඒ හෙයින්ම අපි ජාත්‍යන්තර ලෝකයේ සිදුවන සෑම සිද්ධියක් පිළිබඳව අවධානයෙන් හා අවබෝධයෙන් සිටිය යුතුය. ඒ අනුව අපගේ ප්‍රතිපත්ති හා ක්‍රමවේද කාලෝචිත ලෙස වෙනස් කළ යුතුය. ඒ අනුව ජාත්‍යන්තර මූලධර්මවලට අනුව ක්‍රියා කළ යුතුය. එයට ආධාරකයන් ලෙස තාක්ෂණය හා සන්නිවේදනය අපට භාවිත කළ හැක.

පැවැති 30 වසරක කුරිරු යුද්ධය නිමවීමත් සමග ජාත්‍යන්තරය දිනා ගැනීමේ ප්‍රවේශයක් සහ අනගි අවස්ථාවක් අපට උදා විය. නමුත් පැවැති මහින්ද රාජ්‍ය පාලන යුගය ඒ පිළිබඳව මනා අවබෝධයකින් හා වගකීමකින් යුක්තව ක්‍රියා කළ බව දක්නට නොවීය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ යුද්ධයට මෙන්ම රට පාලනය කළ නායකකාරකාදීන් විදුලි පුටුවට තල්ලු වීම, ආර්ථික සම්බාධක, ජාත්‍යන්තර වශයෙන් කොන්වීම දක්වා ප්‍රශ්නය දුරදිග ගොස් එක්සත් ජාතින්ගේ සංවිධානය ද බෙදීමකට ලක්වන අයුරින් ජාත්‍යන්තර අර්බුදයක් බවට පත් වීමය.

ඒ තුළ ජාතික මෙන්ම ජාත්‍යන්තරය තුළද අප කොදෙව් මානසිකත්වයෙන් ක්‍රියාකිරීම නිසා ජාත්‍යන්තරය තුළ අප හුදකලාවීමේ අවශ්‍යතාවන් උද්ගත විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ පැවැති රජය කෙරෙහි ජාතික මෙන්ම ජාත්‍යන්තර විරෝධයක් හටගැනීමයි. ඒ තුළින් 2014 අවසානයේ පැවැති ජනාධිපතිවරණයේදී, ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස වේදිකාගතවීමයි.
එහි සමාරම්භක සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ එතුමා,

තෙරුවන් සරණයි,
අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මෙයියන්තී
යේ පමත්තා යථා මතා
නහි වේරෙන වේරානි
සම්මන්තී ද කුදාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනත්තනෝ

‘මම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධම්ම පදයෙන්ම මේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේය’ යයි පවසන එතුමන් එතැන් සිට 2015.01.08 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය උදෙසා බෞද්ධ දර්ශනය මූලික පදනම කොටගත් සාධනීය ප්‍රවේශයක් ගත්තේය. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසුව ජාත්‍යන්තරය ඉදිරියේ බිඳ වැටී තිබුණු අප මාතෘභූමියේ ප්‍රතිරූපය ඉහළ නැංවීම හෙවත් ජාත්‍යන්තරය තුළ විජයග්‍රහණයේ දෙවැනි මෙහෙයුම ආරම්භ කරන ලදී.

රාජ්‍ය ප්‍රතිපත්ති

මේ වන විට 2005 සිටම සර්ව බලධාරි විධායක ජනාධිපති ක්‍රමයේ සකලවිධ බලතල, පෙර සිටි කිසිදු ජනාධිපතිවරයෙකු නොකළ අන්දමින් පාවිච්චි කිරීමට මහින්ද රාජපක්ෂට හැකි විය. එතුමා තම අභිමතාර්ථයන් ඉටු කිරීමට සහාය වන පාක්ෂික හා විරුද්ධ පාක්ෂික දේශපාලනඥයන්ට අඹු දරුවන්, සහෝදර සහෝදරයින්, ඥාතීන් හා ගැත්තන්ට හා ඉත්තන්ට රිසි සේ කටයුතු කිරීමට හැකි වාතාවරණයෙන් රටේ ඇති කිරීම මගින් දූෂණය හා භීෂණය ඉහ වහා නීතිය වල් වැදුනි. පාදඩ, සමාජ විරෝධි දේශපාලන ක්‍රමයට අනුගත වූ නිලධාරි පැළැන්තින්ද බිහි විය.

ජනවාර්ගික යුද්ධය කෙළවරවීමෙන් පසු රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස්වලට සාමයෙන් සමඟියෙන් ජීවත්වීමට හැකිවන පරිදි පරිසරයක් ඇති කරනවා වෙනුවට සිදුවූයේ ජාතිවාදි අසහනකාරි තත්ත්වයක් උදාවීමයි. තම ධුර කාලයෙන් වසර දෙකක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණයක් නොපවත්වා වසර 35 ක් තිස්සේ ක්‍රියාත්මක වූ විධායක ජනාධිපති ක්‍රමය, ලැබී ඇති තුනෙන් දෙකක ඡන්දයෙන් අහෝසි කොට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස පක්ෂ හා විපක්ෂ දේශපාලන පක්ෂ නායකත්වයෙන් ආගමික නායකයන් හා පුරවැසි ප්‍රජාව ඉල්ලා සිටියහ.

ඒ කිසිවක් නොතැකූ හිටපු ජනාධිපතිවරයා කළේ මිත්‍යාදෘෂ්ඨික උපදේශකයන් ගේ උපදෙස් පිළිගෙන මැතිවරණයකට යාමයි. ඒ තුළ සෙසු අපේක්ෂකයකු වූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය තුළ තම ආර්ථික. දේශපාලනික හා සමාජයීය සංස්කෘතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට රටවැසියා සුඛිත මුදිත කිරීම උදෙසා කැපවී ක්‍රියා කිරීමට අදිටන් කරන බවට ප්‍රතිඥා දුන්​ෙන්ය. ඒ අනුව,

• ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයන් ඇතිකිරීම.
• අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
• මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම
• යහපාලනය ඇතිකිරීම, ඒ සඳහා අධික්ෂණයට යාන්ත්‍රණයක් ඇති කිරීම.
• රට නංවන ආර්ථිකයක් ගොඩනැගීම
• සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම
• සංස්කෘතික, ආගමික නිදහස හා සංහිඳියාව ඇති කිරීම
• සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන් ගොඩනැගීම
• සොබාදහම රැක ගැනීම
• සැමට සුවසෙත ඇති කිරීම
• නව අභියෝග ජය ගන්නා නිදහස් අධ්‍යාපනයක් ගොඩනැගීම
• රට රැකෙන ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීම
• විරැකියාව දුරු කරන කර්මාන්ත හා සේවා නිර්මාණය කිරීම
• දියුණු හා වගකීම් සහගත රාජ්‍ය අංශයක් ගොඩනැගීම
• බලශක්ති සුරකින ශ්‍රී ලංකාවක් ගොඩනැගීම
• අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක් ඇති කිරීම

මෙම ප්‍රතිඥාව 2015.01.08 පැවැති ජනාධිපතිවරණයේදී සමස්ත රටවැසියා අනුමත කළහ. මෙම තත්ත්වයන් ගොඩනැගීමේ අවශ්‍යතාව සියලු සෑම පුරවැසියෙක්ම බලා​පොරොත්තු විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සමස්ත රට වැසියා මෙන්ම ජාත්‍යන්තරය තුළද අප කෙරෙහි පැවැති ආකල්පය වූ ‘මිනීකන්නන්ගේ දේශය’ ‘අසාර්ථක රාජ්‍ය’ යන නම් පටබැඳී අප මාතෘභූමිය නිදහස් කර ගැනීමට මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ජනහිතවාදී බලවේගයන්ට හැකිවීමයි. මේ වන විට ජාතික වශයෙන් ජයග්‍රහණ එකින් එක අත්පත්කර ගනිමින් ඉදිරියට යන ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ විශාල ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටී. ඒ තුළ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ දුරදර්ශී නායකත්වය මෙන්ම මනා සංයමය මොනවට පැහැදිලි වේ.

2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු අපගේ විදේශ ප්‍රතිපත්තිය අවුල් ජාලයක් වී ඇති බැව් මුළුමහත් ලෝකයම දන්නා කරුණකි. එක් අතකින් නිසි විදේශ ප්‍රතිපත්තියක් නැති අතර අනෙක් අතින් විදේශ සේවාවන්ට පත්කර තිබුණේ රාජ්‍යතාන්ත්‍රික ගුණාංග නොදන්නා පිරිස්ය. එම සහචරයන් ගමේ ගොඩේ තමන්ගේ වැඩකටයුතු කරන ආකාරයෙන්ම අල්ලස් ලබාදී තම චණ්ඩිකම් පෙන්වා ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමට කටයුතු කර ඇත. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ මුළුමහත් ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම හෑල්ලු වී යාමයි. මෙම තත්ත්වය අංශක 180 කින්ම වෙනස් කිරීමට මෛත්‍රි පාලනයේ වර්ෂ 03 තුළ හැකි විය.
දින 100 ඇතුළත විදේශ සේවයට අනුයුක්ත කර ඇති සියලුම දේශපාලන හා ඥාතීන්ගේ පත්වීම් අවලංගු කර සමස්ත විදේශ සේවාව වෘත්තීය කුසලතා සුදුසුකම් ඇති පිරිස් යොදාගෙන පූර්ණ ප්‍රතිසංවිධානයට යොමු කෙරිණි. මෙසේ විදේශ සේවය රටට අවංක, ජාතිවාදි මත නොදරන උගත් වියත් කාර්යශූර හොඳම මිනිසුන්ගේ හා උපකරණවලින් සමන්විත විදේශ සේවයක් බවට පත් විය.

ආසියාවේ ප්‍රධාන රටවල් වන ඉන්දියාව, චීනය, පාකිස්ථානය හා ජපානය සමග තම සබඳතා ඇති කරගන්නා අතරේ තායිලන්තය, ඉන්දුනීසියාව, කොරියාව ආදී නැගී එන ආසියානු රටවල් සමග කිසිදු භේදයකින් තොරව මිතුරු සබඳතා වැඩිදියුණු කර ගැනිණ. අසල්වැසි ඉන්දියාවේ ඇති විවිධත්වය මනාව තේරුම් ගනිමින් අපගේ ඉන්දියානු පිළිවෙත සකස් විය. ආර්ථික සංස්කෘතික වශයෙන් ඉන්දීය විරෝධයන් ගොඩ නොනැගෙන හා ගැති නොවන ආකල්පයන්ගෙන් වඩා සමීප සබඳතා ඇති කරගැනීමට කටයුතු කරමින් සිටී.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ ක්‍රියාවලියට අදාළව මේ රටේ කිසිදු පුරවැසියෙකුට හිරිහැර කිරීමට හෝ අත තැබීමට හෝ කිසිදු බලවේගයකට, ජාත්‍යන්තර බලවේගයකට ඉඩ නොතැබීමට එතුමා වග බලා ගත් අතර ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලට සැබෑ පිළිතුරක් ලෙස අපේ මානව හිතවාදී ආකල්ප රට තුළ මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රවර්ධනය කිරී​ෙමහිලා කටයුතු කරමින් සිටී.

අද ලෝකයේ සියලුම ප්‍රබල රාජ්‍යයක්ම. සංවිධානයක්ම අපේ රටේ මිතුරන් බවට පත්ව සිටිමු. ඒ ජාත්‍යන්තර සබඳතා ජාත්‍යන්තර මිත්‍රත්වය, ජාත්‍යන්තර සහයෝගිතාව අද අපේ රටේ ජනතාවගේ අනාගතය සඳහා සංවර්ධනය සඳහා කැප කරවන ප්‍රභවයකි. ඒ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීම තුළ අපි අපේ රටට අහිමි වූ බොහෝ දේ ලබා ගනිමින් සිටිමු. යහපාලනයේ එජාප-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගිතාවයේ නියමුවා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ජනතාව හමුවේ උදම් අනන ජාත්‍යන්තර ජයග්‍රහණය හුදු දේශපාලන කතා බවට පත් නොවන්නේ මහින්ද රාජපක්ෂ යුගය තුළ රට හමුවේ තිබූ අවදානම, මුහුණදී සිටි නින්දාසහගත තත්ත්වය මෙනෙහි කිරීමේ දී ය.

මීට අවුරුදු තුනකට පෙර තිබූ තත්ත්වය මේ රටේ තිබුණා නම් මේ වෙන විට ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? ඇතැම් අය අහනවා වෙනස සනීපද කියලා. අපි කියනවා රටේ ජනතාවට වෙනස හොඳටම සනීපයි කියලා. ඇයි එහෙම කියන්නේ? මීට අවුරුදු තුනකට කලින් මේ රටට ආර්ථික සම්බාධක පැනවීමේ ජාත්‍යන්තරය පළමුවැනි පියවර පනවලා තිබුණා. යුරෝපෙට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අලෙවිය තහනම් කරලා තිබුණා.
යුරෝපය අපේ ඇඟළුම් කර්මාන්තයේ බදු සහන ඉවත් කරලා තිබුණා. ඒ මේ රටට ආර්ථික සම්බාධක ඇතිකිරීමේ පළමු පියවර විදියටයි. මීට අවුරුදු තුනකට පෙර ආණ්ඩුවෙන් එළියට බහින විට දේශපාලන වේදිකාව, පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය ඒ සියල්ල තුළ කතා බහට ලක්වූ බොහෝ දේවල් තුළ විදුලි පුටුවක් ගැන කතා කළා. යුද අධිකරණයක් ගැන කතා කළා. විදේශ විනිශ්චයකාරවරුන් රටට ගෙන ඒම ගැන කතා කළා. අපි ලබාගත්ත ජයග්‍රහණය අතර ඒ සියල්ල අද අපි ඉවත්කර තිබෙනවා. යුද අධිකරණ නැහැ. ජාත්‍යන්තර විනිශ්චයවරුන් මේ රටට එන්නේ නැහැ. විදුලි පුටු මේ රටේ නැහැ. ඒ තත්ත්වයට මේ රට වෙනස් කළා. ඒ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමක්.

අද යළි බලය අල්ලා ගැනීමට තැත් කරන ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා පාර්ශ්වය ප්‍රමුඛ කල්ලියට එදා රට පත්කර තිබූ අවදානම් තත්ත්වයෙන් රට මුදා ගැනීමට කිසිදු වැඩ පිළිවෙළක් එදා මෙන්ම අද ද නැත. උදාහරණයක් ලෙස එදා රටේ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ මිතුරන් අහිමි වෙලා තිබුණේ. ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල සංචාරය කිරීමට පවා නොහැකි වාතාවරණයක් නිර්මාණය වී තිබුණි. ප්‍රකට ‘ඔක්ස්ෆර්ඩ් දේශනය’ හා බැඳි සිදුවීම් ඒ අතර එකක් පමණයි. ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ මිතුරන් අහිමි වෙලා තිබුණා. රාජපක්ෂ යුගයේ ලංකාව ගනුදෙනු කළ ලංකාවේ රාජ්‍ය නායකයින්ට දොරටු විවර වුණේ ස්වාසිලන්තය, ලිබියාව, යුක්රේනය වැනි ලෝකයේ හුදෙකලා වූ රාජ්‍යවල පමණි. එහෙත් අද වෙන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පිළිවෙළින් ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, පාකිස්ථානය, මාලදිවයින සහ තායිලන්තය, මෝල්ටා, ප්‍රංශය, වතිකානුව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඇමෙරිකාව, මැලේසියාව, රුසියාව, බංගලාදේශය, කටාර්, දකුණු කොරියාව වැනි යුරෝපීය, ආසියා, මැදපෙරදිග යන කිසිදු භේදයකින් තොරව සෑම රාජ්‍යයක්ම එක හා සමානව ඇසුරු කරමින් සිටී. එම රාජ්‍යයේ හා රාජ්‍ය නායකයන්ගේ ආරාධනයෙන් පැවැති පොදුරාජ්‍ය මණ්ඩලය සැමරුමට සහභාගිවීම ද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ ඇගයීමට ලක්වීමද විශේෂය.

24 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සම්මේලනයේ ඇගැයීම් සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා ලෙස සිය වගකීම් සහ යුතුකම් මැනවින් ඉටු කළේය. එහි මූලධර්මයන් නිසි ලෙස ආරක්ෂා කළ පරමාදර්ශි රාජ්‍යය නායකයෙක් ලෙස ද අභිෂේක ලැබීය. එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගිවීම සඳහා ප්‍රංශයේ දෙදිනක නිල සංචාරයක යෙදුණු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පැරිස් නුවර පැවැති සමුළුව අමතා ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාසවල බලපෑම් අඩු කිරීමට නීතිමය එකඟතාවයන්ගෙන් බැඳීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් මේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසරවේදියා වන්​ෙන් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව බෞද්ධයෙකු ලෙස තමා දැඩිව විශ්වාස කරන බවත්ය.

එපමණක් නොව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයක් මත ජනාධිපතිතුමා වතිකානුවේ දෙදින නිල සංචාරයක නිරත විය. ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සාමය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙනා වැඩපිළිවෙළ පාප්වහන්සේගේ පැසසුමට ලක් විය. ඒතුළින් සමස්ත ලෝකවාසි කතෝලික බැතිමතුන්ගේ සිත් සතන් තුළ ලාංකීය පුරවැසියාගේ අභිමානය තවදුරටත් විකසිත වන්නට විය.

2016.05.25 සිට 29 දක්වා ජපන් සංචාරය තුළින් ‘ජී 7’ හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ රාජ්‍ය නායක සමුළුවට සමගාමි සමුළුවට සහභාගිවීමට ජනාධිපතිතුමාට හැකිවීම තුළ ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයකුට ලැබුණු ප්‍රථම නිල ආරාධනාව මෙය වීමද, විශේෂ විය. එතුළින් ඇමෙරිකන් ජනපති බැරක් ඔබාමා, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩො ඇතුළු රාජ්‍ය නායකයින් ජනාධිපතිතුමා අසුන්ගෙන සිටින ස්ථානය වෙත පැමිණ සුභාෂිංශණ පිරිනැමූහ. ඒ තුළින් ආසියාවේ හඬ ඉස්මතු කරමින් බටහිර ජාතීන්ට ආසියානු දෘෂ්ටිකෝණය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහිදී කටයුතු කර ඇත. එය ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ පැසසුමට ලක්විය. එහිදී ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ දීර්ඝකාලීන සහන ගෙවීමේ ක්‍රමයට ශ්‍රී ලංකාවට යෙන් බිලියන 38 ක සංවර්ධන ණය ආධාරයක් ලබාදීමටද ජපාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ණය පහසුකම් සැපයීම පිළිබඳව ධනාත්මකව සලකා බලන බවද කියා සිටීම තුළ ආර්ථික වශයෙන්ද, ජයග්‍රහණය අත්පත් කරගත් බව කිව හැකිය.

එපමණක් නොව 2016.09.18 දිනෙන් ආරම්භ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසියට සහභාගි වී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී ක්ලින්ටන් ගෝලීය සංසදයේ 2016 වාර්ෂික සමුළුවටද සහභාගි විය. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතූ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස මෙන්ම මානව හිමිකම් තහවුරු කරමින් රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩ නැගීමට කැපවූ නායකයෙකු ලෙස එම ​ෙද්ශනය සුවිශේෂි විය.

ශ්‍රී ලංකාවේ දැනට සිදුවන පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහනයක්ම ලබාදෙන බවත් අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා පැවසීය. මෙවැනි ප්‍රබල රාජ්‍ය නායකයන් නියෝජනය වන සමුළු හා සම්මන්ත්‍රණ තුළින් ශ්‍රී ලංකා ප්‍රතිරූපය ගොඩනැගීමෙහිලා පුරෝගාමී වූ කාර්යයන් ඉටු කරන බව මනාව පැහැදිලි වේ.

අගාධයෙන් අගාධයට දවසින් දවස විනාශ මුඛයට ඇද වැටෙමින් තිබූ අප මාතෘ භූමිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්ති හේතු කොටගෙන නිවැරදි දිශානතියකට යොමුකොට මෙහෙයවීම හා පාලනයවීම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන සෑම ලාංකීය පුත්‍රයෙකුටම සාමයෙන් සහෝදරත්වයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට හැකියාව ලැබී ඇත. රට තුළ මෙන්ම ජාත්‍යන්තරයද අප​ෙග් සංහිඳියාවට ඇති කැමැත්ත හා කැපවීම පිළිබඳ මනා අවබෝධයකින් සිටී. මෙම සෑම කරුණක් තුළින්ම පිළිබිඹු වන්නේ රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ ද මෛත්‍රි ලකුණ ඉහළ අගයකින් ප්‍රදර්ශනය වන බවයි.

LEAVE A REPLY