දශක තිහකට අධික කාලයක් මෙරට පැවැති යුද්ධය වෙනුවෙන් සටන් කර රට දිනාගත් අපේ යුද හමුදා රණවිරුවන් ජාත්‍යන්තර සාම සාධක හමුදා සේවයට එක‍්වෙමින් මාලි දේශයේ දෙසීයකින් පමණ සමන්විත ආරක්ෂක රථ පෙළකට එල්ලවීමට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් වලක්වමින් එහි ගමන් ගත් පන්සීයකගේ (500) පමණ ජීවිත බේරා ගනිමින් පෙරේදා (28) ජාත්‍යන්තරය තුළ ‍ඓතිහාසික වාර්තාවක් ‍තබා තිබේ.

මාලි දේශයේ ත්‍රස්ත ප්‍රහාර එල්ලවන ප්‍රදේශයක් හරහා බ්‍රාවෝ සිට මොබ්ලි දක්වා කිලෝමීටර් 500ක පමණ දුරක් එම ආරක්ෂක රථ පෙළ ගමන් ගන්නා අවස්ථාවේ එම ආරක්ෂක රථ පෙළ ඉලක්ක කර ගනිමින් එරට ත්‍රස්තවාදීන් කිලෝ 35කට වැඩි බර අධිබලැති බිම් බෝම්බයක් අටවා එය දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැරීමට සැලසුම් කර තිබී ඇත.

එම බෝම්බය අටවා තිබූ ස්ථානයට මීටර් 200ක පමණ දුරින් එය පුපුරා හැරීමට සූදානම් වූ පුද්ගලයා ඒ සඳහා ඈතට දිවයනු දුටු අපේ හමුදා සෙබළුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක රථ පෙළ නැවැත්වීමට අණකර සැක කටයුතු පුද්ගලයා පසුපස හඹාගොස් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු එම බෝම්බය දුරස්ථ පාලකයක් මගින් පිපිරවීමට පැමිණි පුද්ගලයා බව හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව එම මාර්ගයේ අඩි දෙකක් පමණ පොළොව යට වළදමා තිබූ කිලෝ 35කට වැඩි බර අධිබලැති බිම් බෝම්බය සොයාගෙන අය නිශ්ක්‍රීය කර තිබේ.

මෙම ආරක්ෂක රථ පෙළ තුළ පුද්ගලයන් පන්සීයකට වැඩි පිරිසක් ද පුපුරනද්‍රව්‍ය, අවි ආයුධ, ආහාර පාන ඇතුළු තවත් බොහෝ දේවල් ද ගෙන යමින් තිබූ එරට විශාල ඝණයේ ආරක්ෂක රථ පෙළක් විය. එම ආරක්ෂක රථ පෙළෙහි සම්පූර්ණ වගකීම පැවරී තිබී ඇත්තේ අපේ යුද හමුදා සාම සාධක භට පිරිස් වෙත බව පැවසේ.

යම් ආකාරයකින් එරට ත්‍රස්තවාදීන් ඉලක්ක කරගත් පරිදි මෙම බෝම්බය පිපිරී ගියේ නම් ජීවිත විශාල සංඛ්‍යාවක් සමඟ මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව යුද හමුදාව පවසයි. එහෙත් වසර තිහක යුද අත්දැකීම් සහ ඔවුන්ටම ආවේණික වූ යුද උපක්‍රම සහිතව කටයුතු කිරීමේ දක්ෂතාවලින් හෙබි අපේ යුද හමුදා සාමාජිකයෝ ඒ මහා විනාශය වලක්වා ජාත්‍යන්තරය තුළ මහත් ප්‍රසාදයකට ලක්වෙමින් අපේ රටටත් ජාතියටත් මේ හරහා අභිමානවත් කීර්තියක් ලබාදීමට සමත්වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. එපමණක් නොව අපේ හමුදා භටපිරිස් මේ මහා විනාශය වලක්වා ගැනීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නායකයින් ඔවුන්ගේ ‍සේවය අගය කරමින් දැඩිසේ ප්‍රශංසාවට ලක්කර තිබේ.

LEAVE A REPLY