අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඊයේ ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සම්බන්ධීකරණයෙන් මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා සාර්ව ආර්ථික කළමනාකරණය, ආදායම් එකතු කිරීම හා වියදම් පිළිබඳ පසුවිපරම් කිරීම, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමද එම ගැසට් නිවේදනය මඟින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.
මූල්‍ය නීති පනත (1949 අංක 58) සහ ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභා පනත (1987 අංක 36) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ඇත.

ඉකුත් මහ මැතිවරණයෙන් පසු එතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කරගනු ලැබීය.

 

මේ අතර විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය පැවැත්වෙන අප්‍රේල් 4 වැනිදාට පෙර අගමැති ධුරයෙන් ඉවත් වී එජාපයේ වෙනත් කෙනකුට එම ධුරය භාර දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සුළු පක්ෂවල නායකයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කොට තිබේ.
මේ තීරණය ගෙන තිබෙන්නේ සෞඛ්‍ය ඇමැති ‍රාජිත සේනාරත්න මහතාගේ නිවෙසේ පෙරේදා (27දා) පැවැති එම පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවකදීය.
මේ අනුව අග්‍රාමාත්‍යවරයා අද සවස 4.00ට හමුවී එම ඉල්ලීම කිරීමට නියමිතය.

රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පලනි දිගම්බරම් යන ඇමැතිවරුන්ද නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, චතුර සේනාරත්න, ෂෙයිඩ් අලි සහීර් මවුලානා සහ අතුරලියේ රතන හිමියන් සහභාගි වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදය ගන්නා අප්‍රේල් 4 වැනිදාට පෙර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය එජාපයේ වෙනත් කෙනකුට භාරදිය යුතු බවට මේ සාකච්ඡාවේදී දැඩි ලෙස ප්‍රකාශ කළේ ඇමැති චම්පික රණවක බව සාකච්ඡාවට සහභාගි වූ කීපදෙනෙක්ම ‘මව්බිම’ට පැවැසූහ.

මේ අවස්ථාවේ විශ්වාසභංගය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම උචිත නොවනු ඇති බව මෙහිදී ප්‍රකාශ වී තිබේ.

LEAVE A REPLY