පසළොස්වක පොහෝ දින පෞද්ගලික පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය කරන ලද දීර්ඝ කාලීන ඉල්ලීම පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් හා ව්‍යවස්ථාපිත තත්ත්වයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ජනාධිපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයෙන් පිදුම් ලද එම නිකායේ චූලගන්ධි පාර්ශ්වයේ මහ නායක ගන්තුනේ අස්සජි ස්වාමීන් වහන්සේ වෙත සන්නස් පත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට පෙරේදා (27දා) එක් වෙමිනි.

මෙහිදී ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස නාහිමි අතින් ලබා ගත් සන්නස් පත්‍රය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභිනව සභාපති ධුරයෙන් පිදුම් ලද ගන්තුනේ අස්සජි නා හිමියන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

තෛ්‍රනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛව අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රුවන් විජයවර්ධන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

අපි බෞද්ධ රටක් විදියට, බෞද්ධාගමික පරිසරයක්, බෞද්ධ දර්ශනය තුළින් ප්‍රබෝධවත් වූ ශ්‍රී ලාංකික සමාජයේ එදා දවස සෑම කෙනකුටම මතකයි. අද අධි තාක්ෂණය තුළ ලෝකය කොතෙක් ඉදිරියට ගියත් මිනිසාගේ මනස සන්සුන් කරන්න විනයගරුක සමාජයක් ගොඩනඟන්න ඒ අධිතාක්ෂණය සමත් වී නැහැ.
බුදුන් වහන්සේ දේශනා කළ ථෙරවාද බෞද්ධ දර්ශනයේ මූලස්ථානයක් ලෙස රටක් විදියට අපට සතුටු වෙන්න පුළුවන් වෙනවා. අපි ඉතාමත් සතුටු වෙනවා ගන්තුනේ අස්සජි මහ නායක ස්වාමින් වහන්සේට උතුම් පදවිය පුද කරන අවස්ථාවේ ඊට එක්වන්නට ලැබීම ගැන. උන්වහන්සේගේ ධර්මධර, විනයධර භාවය, පාණ්ඩිත්වය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වගේම වර්තමානයේ මානව සමාජයේ යහපත උදෙසා ඒ මඟපෙන්වීම ඉතාමත් අගය කළ යුතුයි.

මුලසුනෙහි වැඩ සිටින උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවේ කරුණු කිහිපයක් පෙන්නුවා රජයේ අවධානය සඳහා.
ළඟ එන ලෝක කම්කරු දිනයත්, ඒ දින කිහිපයේ යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයත් මුල් කරගෙන ඔබවහන්සේ අනුශාසනා කළා පරිදි උදෑසන පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළා ලෝක කම්කරු දිනය මැයි 1දා අපේ රටේ එම කටයුතු මැයි 7 වැනි සඳුදා පැවැත්විය යුතුයි කියලා. ඒ අනුව සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිතිවලින් රජය විදියට ඉල්ලනවා රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන මැයි 7දා ලෝක කම්කරු දිනයට අදාළ රැස්වීම් පෙළපාළි පවත්වන්න කියලා.
ජාත්‍යන්තර කම්කරු දිනය හා වෙසක් පොහොය දිනය මෙවර එක ළඟ යෙදුණා වගේම මගේ මතකයේ හැටියට 1967 හෝ 1968 වසරක මැයි 1දා වෙසක් පොහෝ දිනය යෙදුණා. තරුණයෙක් විදියට ඒ කාලේ මට ඒ අත්දැකීම තියෙනවා.

ඔබවහන්සේ අද අනුශාසනා කළා වගේම වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් කරන පෞද්ගලික පන්ති පැවැත්වීම, ඉරිදා දහම් පාසල් දිනය වගේ කාරණා ගැන දැනුවත් කළා. ඒ පිළිබඳ අපි මීට පෙරත් පළාත් සභා මහ ඇමැතිවරුන්ට දන්වා තිබුණා. පෞද්ගලික අධ්‍යාපන ආයතන කරන ප්‍රධානීන්ගෙන් ඒ ඉල්ලීම කර තිබෙනවා. ඇතැම් පළාත් සභා ඒ සම්බන්ධයෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සියලු කටයුතුවල අපට සතුටු විය හැකි ප්‍රගතියක් නොමැති බැවින් මේ කාරණය ගැන රජය විදියට දැඩි ලෙස අවධානය යොමු කරමින් ඉදිරියේදීත් වැඩපිළිවෙළක් සකස් කිරීමට සූදානම් වන අතර ව්‍යවස්ථාපිත තත්ත්වයන් සකස් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක කොටුගොඩ ධම්මාවාස හිමි

මැයි දිනය ලෝකයේ ජනතාව සමරන්නේ ලොකු විශ්වාසයකින්. ඒ නිසා ඒ දවස්වල සමාජයේ වේගවත් වචන කියැවෙන වකවානුවක්. මහ සංඝරත්නය වෙනුවෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍යවරුන්ගෙන් වෙසක් දිනයත් මැයි දිනයත් පිළිබඳව අවධානය යොමු කරලා කල්පනාකාරීව කටයුතු සංවිධානය කරන්න කියලා.

LEAVE A REPLY