නඩු විභාග කඩිනම් කිරීමේ විශේෂ අධිකරණය පිහිටුවීමෙන් පසු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයද එහිදී විභාග කළ හැකි බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (20) පැවසුවාය.

නව අධිකරණයක් පිහිටුවන්නේ වැරදිකරුවන්ට දඬුවම්දීමට මිස වෛරයෙන් ද්වේශයෙන් හෝ කිසිවෙකුගෙන් පළිගැනීමේ අරමුණින් නොවන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

පසුගිය රජය සරත් ෆොන්සේකා මහතා සිර ගත කළ ආකාරයට කිසිවෙකුටත් දඬුවම්දීමට වත්මන් රජය පියවර නොගන්නා බව ද ඇය කීවාය.

මෙම නව අධිකරණයට එරෙහිව ඇතැමුන් අධිකරණයට ගොස් ඇති බව කී අමාත්‍යවරිය අධිකරණයෙන් ලැබෙන තීන්දුව අනුව ඉදිරි කටයුතු කරන බව ද කියා සිටියාය.

අමාත්‍යවරියට පෙර අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසුවේ නව අධිකරණය පිහිටුවීමෙන් පසු පළමු නඩු විභාගය ලෙස බැඳුම්කර වංචාව පිළිබඳව විභාග කරන ලෙස තමා අධිකරණ අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බවයි.

එසේ කළහොත් නව අධිකරණය ගෙන එන්නේ දේශපාලන පළිගැනීම් සඳහා බවට එල්ල වන චෝදනාවද අහෝසි වී යනු ඇතැයි විජිත හේරත් මහතා කීවේය.

  • පුවත් මුලාශ්‍රය –  ලංකාදීප වෙබ් අඩවිය. 

LEAVE A REPLY