ජාතීන් අතර අසමඟිය ඇති කරවන හා ආගම් අතර වෛරය පතුරවන වදන් ‍ෆේස් බුක් හරහා ප්‍රචාරය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු ලබන මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (20) නියෝග කළේය.

එසේ රක්ෂිතබන්ධනාගාරගත කරනු ලැබුවේ ගම්පහ පදිංචි ඒ.කේ.ක්‍රිෂාන් ශ්‍රිනාත් පෙරේරා යන අයය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් පරික්ෂක සේනාරත්ත මහතා දන්වා සිටියේ 2018/3/12 වන දින රහස් පොලිසියට රාජ්‍ය බුද්ධි තොරතුරු අංශය විසින් කරන ලද තොරතුරකට අනුව සැකකරු සතු අන්තර්ජාල ෆෙස් බුක් ගිණුම පරික්ෂාවට ලක් කළ බවත් එහි ජිව දත්ත පිටුව භාවිතා කරමින් එහි ඇතුළත් වදන් හේතුවෙන් ජාතින් අතර අසමඟිය ආගම් අතර වෛරය ප්‍රචාරය කරන වැකි විමර්ශනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බවය. ඔහුගේ ගිණුම තුළට ප්‍රවේශවීම සදහා මුරපදය රහස් පොලිසිය වෙත ලබා දිම සැකකරු විසින් ප්‍රතික්ෂ්‍රේප කළ බව සදහන් කළ පොලිස් පරික්ෂකවරයා සැකකරුගේ දුරකථනය අත්අඩංගුවට ගත් බව සදහන් කළේය.

මිට අමතරව මෙම වදන් සැකකරු විසින් ප්‍රතික්ෂ්‍රේප කරන බව අධිකරණයට දැන්වු රහස් පොලිසිය ඒවා තමන්ගේ නොවේ නම් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කිරිමට තිබු බව පැවසීය.

සැකකරුට එරෙහිව රහස් පොලිසිය 2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනතේ 3වන වගන්තිය හා පරිගණක වැරදි පනතේ වගන්ති අනුව චෝදනා ගොනු කර තිබිණි. සැකකරුගේ දුරකථනය සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක යටතේ තිබෙන ඩිජිටල් වොහාරික විද්‍යා ආයතනය මඟින් වාර්තාවක් කැඳවිමට ද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

මීට අමතරව සැකකරුට ඇප ලබා දුනහෝත් විමර්ශන වලට බාධා ඇති වන බවට ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ සංජිව රුවන් පතිරණ මහතා පැවසුවේ ඇප ලබා දිය නොහැකි පනත් මඟින් සැකකරු ඉදිරිපත් කර ඇති බවත් ඊට ප්‍රමාණවත් සාක්කි නොමැති බවය. අදාල කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාල ප්‍රකාශ ඔහුගේ ගිණුම හරහා අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවට ප්‍රමාණවත් කරුණු ඇති බවත් ඇප දීමට තමන්ට බලයක් නොමැති බව සදහන් කරමින් සැකකරු ලබන මස 3 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරිමට නියම කළේය.

LEAVE A REPLY