බෝතල් කළ පැණි බීම භාවිතය හේතුවෙන් ජාත්‍යන්තර හා අර්ධ රාජ්‍ය පාසල්වල දරුවන් දත් දියවීමේ රෝගයට වැඩිපුර ගොදුරු වී ඇති බවට සමීක්ෂණ වාර්තාවලින් පෙන්වාදෙන්නේ යැයි දන්ත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

පැණි බීමවල පවතින ආම්ලික ගතිය වැඩිකම හේතුවෙන් දත් දියවීමේ රෝගයට ඔවුන් ගොදුරුව ඇති බවත් එම තත්ත්වයෙන් වැළකීමට නම් බෝතල් කළ පැණි බීම භාවිතය අවම කළ යුතු බවත් වෛද්‍යවරු පෙන්වාදෙති.

වයස අවුරුදු 12 දරුවන් හතරදෙනකුගෙන් එක් අයකු දත් දිරා යාමට ලක්ව ඇති බව සමීක්ෂණයන්ගෙන් හෙළිව ඇති බවත් එම වයසේ දරුවන් සියයට 70 ක් විදුරුමස් රෝගවලට ගොදුරුව ඇති බවත් ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පැවැසුවේය.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය හෙටට (20) යෙදී තිබුණි. “මුව සුව සිතුවිලි – ගෙන දෙයි සුවදිවි“ තේමාව යටතේ මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම සිදුකෙරේ. ඒ නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (19) ප්‍රකාශ කළේය.

ලෝක ජනගහනයෙන් සිය දෙනකු ගත් විට ඉන් අසූ දෙනකුටම කුමන හෝ දන්ත රෝගයක් පවතින බවත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කරමින් දිනකට දෙවතාවක් දත් මැදීම මඟින් දන්ත රෝග බහුතරයක් වළක්වා ගත හැකි බවත් වෛද්‍යවරු පවසති.

දන්ත රෝගවලට ප්‍රතිකාර ලබා දීම සඳහා වසරකට රජය රුපියල් මිලියන 400 ක් වැය කරයි. දන්ත රෝගවලට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට මේ මුදල වැය කරයි.

වයස අවුරුදු 80 ක් වන විට මුඛයේ දත් 20ක්වත් රඳවා ගැනීමේ අරමුණෙන් මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු කරන බවත් මුඛ සෞඛ්‍ය වෙනත් රෝගවලට බලපෑම් සිදු කරන බවත් වෛද්‍යවරු ප්‍රකාශ කරති.

හෘද රෝග, නිදන්ගත ස්වසන රෝග, දියවැඩියාව යනාදි රෝගයන් සහ මුඛ සෞඛ්‍ය අතර අන්තර් සම්බන්ධතාවක් පවතින්නේ යැයි ද ඔවුහු පවසති.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය සරත් අමුණුගම, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය හිලරි කුරේ, ලේකම් විශේෂඥ වෛද්‍ය විපුල වික්‍රමසිංහ, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය වජිර නානායක්කාර මහත්ම මහත්මීහු සහභාගී වූහ.

LEAVE A REPLY