හිටපු ජනාධිපති මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මෙරට බදු ආදායමෙන් සියයට 80 – 82ත් අතර ප්‍රමාණයක් වක්‍ර බදු ලෙස ඉපැයීම නිසා රටේ ආර්ථික ස්ථාවරයට බරපතළ බාධා සිදුවූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර චෝදනා කරයි.
ලබන අප්‍රේල් මස 1 වැනිදා සිට බල පැවැත්වෙන 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ඊයේ (19දා) කොළඹ ගලධාරි හෝටලයේදී පැවැති වැඩමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර,
රාජපක්ෂ පාලන සමයේදී ව්‍යාපාර 200කට අධික ප්‍රමාණයකට බදු සහන ලබාදී ඇති බවත් ලබන මාසයේ සිට බලගැන්වෙන නව දේශීය ආදායම් පනත යටතේ එවැනි වැරදි සිදුවීමට ඇති ඉඩකඩ අසුරා ඇති බවත් නව පනතට අනුව 2020 වන විට වක්‍ර බදු ප්‍රතිශතය සියයට 60 දක්වා පහත බසිනු ඇති බවත් ප්‍රකාශ කළේය.

තිස් වසරක් වූ දේශපාලන ජීවිතයේ තමන් දුටු විශිෂ්ටතම බදුවලට අදාළ නීති පද්ධතිය ලෙස නව දේශීය ආදායම් පනත හඳුන්වාදිය හැකි බව සඳහන් කළ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයකින් සම්මත වූ මෙම පනතින් බදු ගෙවන්නන් විශාල පිරිසකට යුක්තිය හා සාධාරණය ඉටුවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පැවසුවේය. රටක් ලෙස බදු ආදායම්වල ඉහළ යෑමක් සිදුවිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කෙසේ වුවද අපේ රටේ බදු ආදායම පවතින්නේ පහළ මට්ටමක බැවින් මධ්‍ය පාන්තික ආදායම් මට්ටම වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවත් නව බදු පරිපාලන ව්‍යුහය විනිවිද භාවයෙන් යුක්ත බවත් සඳහන් කළේය.

LEAVE A REPLY