මහනුවර දිස්ති‍්‍රක්කයේ මතුව ඇති තත්ත්වය පිළිබද සාකච්ජා කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (07) දහවල් මහනුවර ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ජාවකට එක්විය.

මල්වතු, අස්ගිරි උභය පාර්ශ්ව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ මුස්ලිම් මව්ලවිතුමාලා ඇතුළු අන්‍යාගමික නායකයින් ද මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

මතුව ඇති හදිසි තත්ත්වය සහ ජනතාව අතර පවතින අනවබෝධයෙන් දුරලමින් සාමය ස්ථාපිත කිරීම සදහා ආගමික නායකයින්ට ඉටුකළ හැකි කාර්යභාරය පිළිබද මෙහිදී ජනාධිපතිතුමා සියලූදෙනාගේ අවධානය යොමු කළේය.

මෙහිදී ආගමික නායකයින් පෙන්වා දුන්නේ ඉතා සුළු සිදුවීම් විවිධ මාධ්‍ය ජාල ඔස්සේ අනවශ්‍ය ආකාරයට ප‍්‍රචාරය කරමින් සමාජයට වැරදි තොරතුරු ලබාදීම මෙම නොසන්සුන් තත්ත්වයන් වර්ධනය වීමට මූලික හේතුව වී තිබෙන බවයි.

සත්‍ය සහ නිවැරදි තත්ත්වය පිළිබද සෑම අවස්ථාවකම ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා පවතින සැබෑ තත්ත්වය පිළිබද ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම රටේ සියලූ ජන කොටස් අතර සාමය සහ සංහිදියාව ගොඩනගමින් මෙවන් සිදුවීම් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ආගමික නායකයින් සියලූදෙනා එක්ව ගතහැකි සෑම පියවරක්ම ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස මෙහිදී පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිතුමා අදාළ ප‍්‍රදේශ තුළ සාමය ස්ථාපිත කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

එමෙන්ම මෙම කලහකාරී කටයුතුවලට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගනිමින් කිසිදු බේදයකින් තොරව ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිතුමා ආරක්ෂක අංශවලට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවලින් ගෙනයන වැඩපිළිවෙළට අමතරව තම තමන්ගේ කොට්ඨාසවල ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින්, ඔවුන් අතර සාමය ස්ථාපිත කිරීමට නායකත්වය ගන්නා ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී ආගමික නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහනසේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මානන්ද යන ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, මහනුවර ප‍්‍රධාන මවිලවිතුමාවන ෆස්ලර් රහ්මන් මව්ලවිතුමා ඇතුළු මව්ලවිතුමාලා, මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ අයිවන් ජයසුන්දර පියතුමා, මහනුවර ශ‍්‍රී විනයාර්ග දේවස්ථානයේ ප‍්‍රධාන භාරකාර කි‍්‍රෂ්ණ මූර්ති ගොවින්දා ස්වාමිවරයා ඇතුළු අන්‍යාගමික නායකයින් ද, මැති ඇමතිවරු රැසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ද මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

LEAVE A REPLY