රාවණා රජ සමය දක්වා විහිදුනු මෙරට මගී ප‍්‍රවාහන සේවා ඉතිහාසය දෝලාවේ සිට අශ්ව කරත්තය දක්වා විකාශනය වී ඇත.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරට දුම්රිය ධාවනය ආරම්භ වීමත් සමග මගී ප‍්‍රවාහන සේවය පොදු සේවාවක් බවට පත්විය.
මෙය තවදුරටත් ව්‍යාප්ත වූයේ 19 වැනි සියවස ආරම්භයේදී මෙරට ඇරඹි බස් සේවාව සමගිනි.
අතීත ලංකාවේ මගී ප‍්‍රවාහන සේවාව පවත්වාගෙන ගිය ආකාරය සොයාබැලීමට ලංකාවේ ඉපැරණි වාහන රැසක හිමිකාරිත්වය දරන මුල්ම බස් සමාගම්වලින් එකක් වූ ඊබට් ද සිල්වා සමාගමට පසුගිය දිනෙක ගියෙමි.
ශ්‍රී ලංකාවේ බස් සේවය ආරම්භ වී ඇත්තේ 1902 දී පමණය.
ඒවාට නාමිකව බස් ලෙස හැඳින්වූවද විවිධ වාහන මගින් ප‍්‍රවාහනයට සුදුසු ලෙස සකසාගෙන ධාවනයට එක්කර තිබිණි.
මුල් දශක දෙකේදීම මෙරට පොදු ප‍්‍රවාහනයේ යෙදුණේ මේ ආකාරයේ බස් රථය.
ලාංකීය මගී ප‍්‍රවාහන සේවයේ නව කඩඉමක් සනිටුහන් කරමින් 1925 දී ලොරි බොඩියකට බස් චැසියක් ආදේශ කර විශේෂ මගී ප‍්‍රවාහන ලොරි බසයක් නිපදවන්නට එකල සිටි බස් හිමියකු වූ දෙහිවල, හිල් වීදියේ නෝනිස් ද සිල්වා මහතා සමත්ව ඇත. යුරෝපා රටකින් රුපියල් හාරදහසකට ආනයනය කෙරුණු එම බස් චැසිය මගින් මෙරටට ප‍්‍රථම බස් ආකෘතිය හඳුන්වා දෙන ලද්දේ නෝනිස් ද සිල්වා විසිනි. එතෙක් බස් රථ කියා හැඳින්වූ වාහනවලට වඩා මෙය සුවපහසු විය.
එකල පැවැති මගී ප‍්‍රවාහන සේවයට නව ආලෝකයක් දෙමින් ඇරඹි එම ලොරි බස් රථය කොළඹ සිට මාතරට ධාවනය කෙරිණි. මෙම බස් රථයේ පෙනුමට මගීන් වැඩිවශයෙන් ආකර්ෂණය වීම නිසා සෙසු ප‍්‍රවාහන සේවා හිමිකරුවන්ද මෙම ලොරි බස් සේවය අත්හදා බලන්නට යොමු විය.
එකල ස්ථීර ගමනාන්තයක් හෝ ස්ථීර නැවතුම්පොළක් හෝ ස්ථීර ගාස්තුවක් නොමැතිව මෙම බස් රථ ධාවනය වූයේ ඉතාම තරගකාරී ලෙසය. ඇතැම් බස් රථ නිවාස ඉදිරිපිට නවත්වා මගීන් එනතුරු බලා සිට ධාවනය කෙරුණේ ”කාන්සියට මීගමු යන්නාක්” මෙනි. අතරමගදී බස් සේවකයන් අතර ගුටි ඇන ගැනීම්ද, කෝලාහලද ඇතිවූයේ මෙලෙස ස්ථීර ගමනාන්ත හෝ ස්ථීර නැවතුම්පොළ නොතිබූ නිසාය.
බස් හිමියා තමාට කැමති නගරයකට කැමති මුදල් අය කරමින් බසය ධාවනයට පෙළැඹිණි. මෙය බස් සේවකයන් අතර ගැටුමට ප‍්‍රධානම හේතුවක් විය.
මේවා සමථයට පත් කරන්නට පොලිසියට මැදිහත් වන්නට සිදුවිය. පොලිසියට දිනපතාම පැමිණිලි ලැබුණු අතර ඉංග‍්‍රීසි ආණ්ඩුවටද ඒවා සමථයට පත් කරන්නට කටයුතු කළද සාර්ථක නොවීය.
කෙසේ හෝ 1947 දක්වාම මෙරට මගී ප‍්‍රවාහන සේවයට මෙම ප‍්‍රශ්නය ඍජු ලෙසම බලපෑවේය. මෙම ප‍්‍රශ්නයට ස්ථීර සාර විසඳුමක් ලබාදෙන්නට එවක රජය සියලූ බස් රථ ලියාපදිංචි කර බස් සමාගම් පිහිටුවිය යුතු යැයි දැනුම් දුනි. මේ සමගම රටපුරා සිටි බස් රථ හිමියෝ තම තමන්ගේ බස් රථ සේවා ලියාපදිංචි කර සමාගම් පිහිටවූහ.
නෝමිස් ද සිල්වා මහතාද තමාගේ බස් රථ සේවාව තම පුතාගේ නමින් ”ඊබට් ද සිල්වා ඔමිනි බස් සමාගම” නමින් ලියාපදිංචි කළේය.
එවක තිබූ තවත් බස් රථ සේවාවක් වූයේ පෑලියගොඩ එම්. ජේ. මදනායක නම් අයකුගේ ශ්‍රී ලංකා බස් සමාගමයි. ඒ හැර මීගමුව මුදලිඳු ඬේවිඞ් මෙන්ඩිස් මහතාට (හිටපු අමාත්‍ය විජේපාල මෙන්ඩිස් මහතාගේ පියා) අයත් විජය බස් සමාගම, මාතර බස් හිමියකුට අයත්ව තිබූ රුහුණු ට‍්‍රාන්සිස් බස් සමාගම, කොළඹ බස් හිමියකුගේ සිටි මෝටර්ස් ට‍්‍රාන්සිස් සමාගම හා ශ්‍රීමත් සිරිල් ද සොයිසා
මහතාගේ ”සවුත් වෙස්ටන් බස් කම්පැණි” වත්තල කේ.බී.එල්. පෙරේරාගේ සිටි බස් සර්විසස් ප‍්‍රමුඛ පෙළේ බස් සමාගම් විය. බස් සමාගම් ලියාපදිංචියත් සමගම රජය ඒ ඒ සමාගම් බස් ධාවනය කළ යුතු සහ අදාළ කාලසටහන්ද සහිතව බස් ධාවනය කෙරිණි.
ඊබට් ද සිල්වා ඔමිනි බස් සමාගමේ බස් රථ කොල්ලූපිටිය– ඇස් වාට්ටුව, වැල්ලවත්ත– කිරුළපන, වැල්ලවත්ත– පොල්හේන්ගොඩ හා කොල්ලූපිටිය– මරදාන ආදී මාර්ගවල ධාවනය වූයේ ඉන් අනතුරුවය.
1947 වසර වනවිට කොල්ලූපිටිය සිට ඇස් වාට්ටුව හන්දියට අය කළේ සත පහකි. වැල්ලවත්ත සිට කිරුළපනට ගාස්තුව ශත පහකි. කොල්ලූපිටිය සිට මරදානට සත දෙකක් මගීන්ගෙන් අයකරන ලදී.
සමාගම් පිහිටුවීමට පෙර හා පසුත් වාර්ෂිකව විශාල බස් ප‍්‍රමාණයක් ධාවනයට එක්වී තිබිණි. 1956 දී ”මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව” බිහිවීමත් සමගම එතෙක් බස් පැවති බස් සමාගම්වල සේවාව පිළිබඳ සෙවීමට කොමිසමක් පත් කෙරිණි. මගීන්ගෙන් ලබාගත් තොරතුරු පදනම්ව පැවැති එම කොමිසමෙන් කිසිම පැමිණිල්ලක් නොමැති එකම බස් සේවාව ලෙස ඊබට් ද සිල්වා බස් සමාගම තේරී පත්ව ඇත.
ඔවුන් නියමිත කාලයට, නියමිත මාර්ගයේ සිය බස් රථ සේවා ධාවනය කළ අතර නියමිත ගාස්තු අය කරන ලදී. මේ යුගයේදී රජයට අයත් ගමනාගමන සේවාවක් ආරම්භ කිරීමට එවක රජය සැලසුම් කරමින් සිටි සමයක් විය. අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ රජය ජාතික බස් ගමනාගමනයක් පිහිටුවීමේ අරමුණින් 1957 දී ලංකාවේ එතෙක් පැවැති පෞද්ගලික බස් සමාගම් රජයට පවරා ගත්තේය. එය ”ජනසතු” කිරීම ලෙස නම්කළ අතර මේ යටතේ පෞද්ගලික හිමිකාරිත්වය අහිමිව රජයට එහි අයිතිය පැවැරිණි.
1958 ජනවරි 01 දින එවක ප‍්‍රවාහන හා වැඩ අමාත්‍ය මෛත‍්‍රිපාල සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය හෙවත් ලංගමය ආරම්භ කෙරිණි. මේ මණ්ඩලය සඳහා ඩිපෝ පිහිටුවා ගත් අතර රත්මලාන ශ්‍රීමත් සිරිල් ද සොයිසාගේ බස් රථ ගාල රත්මලාන ඩිපෝව බවට පත්කර ගැනිණි. ජර්මනියෙන් මර්සිඞීස් බස් රථ ගෙන්වා ඒවා නිට්ටඹුව ඩිපෝව සඳහා ලබා දුන්නේය.
ඊබට් ද සිල්වා බස් සමාගමේ බස් රථ හැට අටක් ජනසතු කිරීම යටතේ ආණ්ඩුව පවරාගත් අතර වන්දි වශයෙන් රුපියල් දෙදහසක් ලැබුණු බව ඊබට් ද සිල්වා බස් සමාගමේ සභාපති ඊබට් ද සිල්වා මහතා අප සමග පැවසීය.
බස් ජනසතු කිරීමත් සමගම ලංකාවේ එතෙක් පැවති පෞද්ගලික බස් ඒකාධිකාරය බිඳ වැටුණු අතර ඉන් වූ අනිසි විපාක පිළිබඳවද ඊබට් ද සිල්වා මහතා අප හමුවේ තැබීය. “ඒ කාලේ බස් එකක් රුපියල් දහදාහක් පමණ වුණා. අපේ සමාගම සතුව බස් රථ හැට අටක් තිබුණා. අපේ කළමණාකරුවන්, රියදුරන්, කොන්දොස්තරවරු, ටයිම් කීපර්ස්ල, ගැරේජ් හා වඩු වැඩ මඩුවල සේවකයන් ඇතුළු සියයකට ආසන්න පිරිසකට ජනසතු කිරීම නිසා එකවර රැකියා අහිමි වුණා. ඒත් ඒ සියලූ දෙනා ලංගමයට බඳවා ගැනීම නිසා රැකියා ගැටලූව විසඳුණා. ඒත් අපට බස් රථ හැට අටකට ලැබිය යුතු හය ලක්ෂ අසූදාහ වෙනුවට රුපියල් දෙදහක චෙක්පතක් තියෙනවා කියා මට ලියුමක් ලැබුණා. මම ලියල යැව්වා ඒක ලංකා පිළිකා සංගමයට යවන්න කියලා. අපේ ව්‍යාපාර පවරා ගැනීම නිසා අපි දැඩි ආර්ථික අර්බුදයකට ලක්වුණා”
“ඒ කාලේ ලංකාවෙන්ම වැඩිම බස් රථ තිබුණේ සර් සිරිල් ද සොයිසාට. එයාට බස් සියයක් පමණ තිබුණා. අපිට තමා දෙවැනියට වැඩිම බස් රථ තිබුණේ. වසර පනහකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය බස් සමාගම අපට නැතිවුණත් අදටත් ලංකාවේ හොඳම ප‍්‍රවාහන සේවයක් කරන සමාගමක් ලෙස අපට සම්මාන ඇගයීම් ලැබෙනවා.” යැයිද හේ කීවේය.
බස් රථ ජනසතු කිරීමට පෙර 1953 දෙසැම්බර් 01 දින ඊබට් සිල්වාගේ තාත්තා වූ නෝනිස් ද සිල්වා මියගිය පසු බස් සමාගමේ හිමිකාරිත්වය ඊබට් ද සිල්වා මහතාට පැවරිණි. එකල දහ නව හැවිරිදි වියේ වූ ඊබට් සිල්වා සමාගමේ නව කළමණාකරණ අධ්‍යක්ෂක වශයෙන් වැඩ භාරගෙන තම සේවාව පුළුල් කළේය. ඒ නැව් මගින් මෙරටට පැමිණෙන විදේශිකයන් ප‍්‍රවාහනය සඳහා ඊබට් ද සිල්වා සංචාරක සමාගම වෙනම සමාගමක් ලෙස ලියාපදිංචි කළේය. එය තමා දුරදක්නා නුවණකින් කළ බව ඊබට්ට වැටහුණේ ඉන් වසර තුනකට පසුවය.
වරාය අසල කාර් දෙකක් තුනක් තබාගෙන සංචාරකයන් ප‍්‍රවාහනය කිරීම ඇරඹීමත් සමග එම සේවාව සංචාරකයන් අතර ජනප‍්‍රිය විය. එතෙක් කිසිවකුත් ආරම්භ කර නොතිබූ එම සේවාවට පාවිච්චි කළ මෝටර් රථ යොදාගැනීමට ඔහු තීරණය කළේය.
පාවිච්චි කළ කාර් මිලට ගැනීමට ඊබට් පරණ කාර් හා ලොරි බොඩි සොයමින් රට පුරා ගියේය. එසේ සොයාගත් ලොරි බොඩි බස් රථ බවට පත්කළේ ඔහුගේම ගරාජ හා වඩුමඩුවලදීය. ජනසතුවෙන් ඔහු සන්තක දේපලවලින් මෝටර් රථ දෙකක් හැර සියල්ලම අහිමි වුවද මේ දිරිය මිනිසා නොසැලී ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නට ක‍්‍රියා කරන්නට විය.
එකල සෙනෙට් සභාවේ සභාපති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ඊබට්ගේ ධෛර්යය තවත් නංවන්නට සිතා යෝජනාවක් කළේය. ”මගේ බස් දෙකක් තියෙනවා. තමුසෙට ඕනෑනම් ගන්නවා” යැයි ඔහු කීය.
තමා සතුව මුදල් නැති බව ඊබට් කී විට ”මට සල්ලි දැන්ම ඕන නෑ අයිසේ. තමුසේ බස් දෙක අරගෙන දුවනවා. සල්ලි හම්බුවුණු දවසක පුලූවන් වෙලාවක දෙනවා” යැයි සර් සිරිල් ද සොයිසා මහතා කියා ඇත. මෙය ඇසූ ඊබට්ට හිසේ මල් දාහක් පිපුණා සේ විය. හේ සතුටින් ඉපිල එම බස් සංචාරක සේවයට යෙදවීය. ආදායම් ලද සැණින් සර් සිරිල්ට කළගුණ සළකන්නට ගියේය. හැකි විටෙක මුදල් දෙන්නට ඊබට් කටයුතු යොදා තිබුණද පසුකාලීනව සර් සිරිල් ද සොයිසා එම මුදල් භාර නොගෙන සිටියේය.
හැත්තෑව දශකය වනතෙක් අලූත් වාහන ගෙන්වීමට තහංචි තිබූ අතර නොබැඳි සමුළුව ආසන්නවත්ම එවක රජය තහංචි ඉවත්කර බදු ලිහිල් කළේය. මෙය ඊබට් ද සිල්වා මහතාට මහඟු අත්වැලක් විය.
1977 විවෘත ආර්ථිකයෙන් පසු ලංකාවට වාහන ගෙන්වීමට වැඩි ඉඩක් ලැබුණි. 1983 දී මෙරට පෞද්ගලික බස් කර්මාන්තය නැවත වරක් ආරම්භ වූ අතර ඊබට් ද සිල්වාට පොදු මගී ප‍්‍රවාහන සේවයට එක්වන්නැයි කොතෙක් ආරාධනා ලැබුණද හෙතෙම එය ප‍්‍රතික්ෂේප කළේය.
මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වූ ඊබට් ද සිල්වා මහතා තම සේවය ලබා ගැනීමට පැමිණෙන මගීන් හට රියැදුරෙක් නොමැති විටෙක රියැදුරුගේ රාජකාරිය භාර ගත්තේය. දිනක් එලෙස යනවිට මාර්ග නීති කැඩූ වරදකට පොලිස් නිලධාරියකු ඔහුගෙන් ප‍්‍රශ්න කළේය. නම කුමක්දැයි ඇසූ විට ”මම ඊබට් ද සිල්වා” යැයි පිළිවදන් දුනි. ”පිස්සුද ඕයි. තමුසේ කොහොමද ඕයි ඊබට් ද සිල්වා වෙන්නේ. අපි ඒ මහත්තයව හොඳට අඳුරනවා. එයා කවදද බස් එළවන්නේ. කියනවා කියනවා නම” යැයි පොලිස් නිලධාරියා ගුගුළේය.
ඊබට් සිල්වා සිනාමුසුව සියල්ල අසා නැවතත් තමා “ඊබට්” යැයි කීවේය. මෙය විශ්වාස නොකළ පොලිස් නිලධාරියා හැඳුනුම්පත ඉල්ලා සිටි අතර එය බැලූ පොලිස් නිලධාරියා ඔහුට දඩ නොගසා සුහදව කතා කර යැවූ බව ඊබට් ද සිල්වා සිනාමුසුව පැවසුවේය. වසර හැටක පමණ කාලයක් තුළ ඔහු රියැදුරුගේ කාර්යය ඉටුකළේ වරක් දෙකක් නොවේ.
එළිසබෙත් මහරැජින ලංකාවට පැමිණි විටෙක ඊබට් ද සිල්වාගේ මෝටර් රථයක සංචාරය කළාය.
එහි රියැදුරු වූයේද ඊබට් සිල්වා මහතාය. අනුරාධපුරය පොළොන්නරුව ආදී ප‍්‍රදේශ රැසක මහරැජින සංචාරය කළ අතර ඊබට් ඇයට සුහදශීලී ලෙස ආගන්තුක සත්කාර කටයුතු කළේය. ඊබට් සිල්වාගේ සේවය ගැන පැහැදුනු මහරැජින ඔහුට නොසෑහෙන ලෙස ස්තූති කළාය.
ලංකාවේ පැරණි ප‍්‍රවාහන ව්‍යාපාරික පරපුරත් වර්තමාන ව්‍යාපාරික පරපුරත් නියෝජනය කළ අන්තිම පුරුක වූයේ ඊබට් ද සිල්වා මහතාය. සිය ව්‍යාපාරය වෙනුවෙන්ම කැපවූ ඊබට් ද සිල්වා තම සමාගමේ රියැදුරකු වීමට අවම සුදුසුකම ලෙස වසර දහයක් පැරණි රියදුරු බලපතක් තිබීමත් වයස 35 ඉක්මවිය යුතු වීමත් ප‍්‍රධාන නිර්නායකය කළේය. රියැදුරකු වීමට අපේක්ෂාවෙන් සිටින්නන් රිය සහයක ලෙස බඳවා නොගනී.
එය සමාගමේ මේතාක් දියුණුවට දැඩිසේ බලපාන බව එහි අධ්‍යක්ෂිකා සුධර්මා ද සිල්වා මහත්මිය පවසන්නීය.කාර්යාල, සංචාරක ප‍්‍රවාහනය, සංචාරක ඒජන්සියක් ලෙස ක‍්‍රියාකරන ඊබට් ද සිල්වා සමාගම මෙරට පෞද්ගලික බස් රථ සේවාව නැවත ආරම්භ වූ පසුව පොදු ප‍්‍රවාහන සේවයට එක් නොවී සිය ව්‍යාපාර කටයුතු කරගෙන යයි. එම ආයතනය සතුව ලෝකයේ අවම නිෂ්පාදිත වාහන රැුසක් තිබෙන අතර ඇතැම් පැරණි වාහන ප‍්‍රදර්ශනවලදී තම සමාගමේ පැරණි වාහන වලට සම්මාන රාශියක් ලැබී ඇති බව එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක රජීන් ද සිල්වා (ඊබට් ද සිල්වාගේ පුතුණුවන්) මහතා පවසයි.
”අපේ සීයා ආරම්භ කළ බස් සේවයට නව අංග රාශියක් එකතු කරමින් තාත්තත් අම්මත් මාත් අද දක්වාම පවත්වාගෙන යනවා. අදටත් අපේ ව්‍යාපාරයේ හැම දෙයක්ම සොයාබලා අවශ්‍ය උපදෙස් දෙන්නේ තාත්තයි. බස් ජනසතු කරපු කාලේ යම් විදියකට හරි ආර්ථික පරිහානිය වළක්වා ගත්තේ සංචාරක බස් සේවය නිසයි. අදටත් අප සමාගම සතුව බස් සියයකට වඩා තියෙනවා” යැයිද කියා සිටියේය.
සාකච්ඡුාව අවසන් කරමින් ඊබට් ද සිල්වා මහතා පැවසුවේ මෙවැන්නකි. අද වාහන සංඛ්‍යාවේ හැටියට හොඳ රියැදුරන් නැහැ. වුවමනාවටත් වඩා අද ලංකාවේ වාහන තියෙනවා. වාහන වැඩිවුණා කියා ලංකාවේ පාරවල් වැඩිවෙලා නැහැ. රථවාහන තදබදයයි තරගයයි විතරයි වැඩිවෙලා තියෙන්නේ. ඉස්සර වාහනයක් තියෙන කෙනෙක් තවත් වාහනයක් ගන්නව නම් හේතු ඉදිරිපත් කරන්න ඕනෑ. දැන් වාහන ගෙන්වන්න කිසිම පාලනයක් නැහැ.” යනුවෙනි.

LEAVE A REPLY