සිය දරුවාගේ පාසල් දිවා ආහාර පෙට්ටියේ සැඟවී සිටි විෂඝෝර සර්පයෙක් එම දරුවාගේ මවට හසුවීමේ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

නොවැඩුන සර්පයා ළමයාගේ පාසල් ආහාර පෙට්ටියේ පියනක රැඳී සිටියදී මවට හසු වී ඇති බව සර්පයන් පාලනය කරන්නකු වන රොලී බරේල් (Rolly Burrell) පවසයි.

සර්ප අනතුරෙන් බේරීම සඳහා එම කාන්තාව සිය ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ එම ආහාර පෙට්ටිය වසා නිවසින් බැහැරට ගෙනයන ලෙස තමා උපදෙස් දුන් බව රොලී බරේල් වැඩි දුරටත් සඳහන් කළේය.

එම දුඹුරු පැහැති සර්පයා ලෝකයේ අතිශයින් විෂඝෝර සර්පයකු හැටියට රොලී බරේල් විසින් හඳුනා ගනු ලැබ ඇත.

පාසල් දරුවාගේ ආහාර පෙට්ටියේ සිටි සර්පයා කුඩා නමුත් එම සර්පයාගේ විෂෙහි අඩුවක් නැති බව ඔහු පෙන්වාදෙයි.

සර්පයා හඳුනා ගනු ලැබීමෙන් පසු කිසිදු අනතුරකින් තොරව ඉවත් කරන ලද බවත් බරේල් පවසයි.

“සර්පයා ළමයාගේ මවගේ ඇස ගැටීම වාසනාවක්!” රොලී බරේල් බීබීසියට ප්‍රකාශ කළේය.

නිවසේ මුළුතැන්ගෙයි බඩු භාණ්ඩ අසුරා තබන අඳුරුම ස්ථානය වන කුඩා කැබිනට්ටුවකින් (pantry) සර්පයා ආහාර පෙට්ටියට ඇතුල් වෙන්නට ඇතැයි රොලී බරේල් සැක කරයි.

ඔස්ට්‍රේලියාවේ මුහුදු තීරය ඔස්සේ සහ රට අභ්‍යන්තරයේ දී මෙවැනි සර්පයන් මින්පෙර හසුව ඇත.

එවැනි සර්පයන් දෂ්ඨ කරනු ලැබීමෙන් 2000 වසරේ පටන් මේවනවිට මරණ විසි තුනක් වාර්තා වී ඇති බව ඔස්ට්‍රේලියානු මරණ පරීක්ෂක දත්ත පදනම් කර ගනිමින් පසුගිය වසරේ (2017) සිදු කරන ලද අධ්‍යනයක හෙළිදරව් විය.

 

LEAVE A REPLY