ලෝකයේ වැඩිම වැටුප ලබන රාජ්‍ය නායකයා පසුගිය සතියේ ලංකාවට පැමිණ ගියේය. තමන්ගේ රටේත් ඉහළ ඉල්ලුමක් ඇති ලංකාවේ කකුළුවන් සහිත මුහුදු ආහාර වේලක් රසකර වැළඳූ ඔහු ඒ ගැන ෆේස්බුක් ඔස්සේ උදම් ඇනුවේය. ඉන්පසු මෙරට සමඟ නිදහස් ආර්ථික ගිවිසුමකට අත්සන් තැබුවේය. ආසියාවේ මේ ලොකු සල්ලිකාරයා ඕනෑ නම් ලෝකයේ ප්‍රබලම රාජ්‍ය නායකයන් 12 දෙනෙකුටම වැටුප් ගෙවන්නට තරම් සෑහෙන්නා වූ ලොකු සල්ලි මල්ලක් වාර්ෂිකව වැටුප් ලෙස ලබන්නෙකි. කේම්බ්‍රිජ් සරසවියෙන් බිහිවූ ඉහළම මට්ටමේ ගණිත උපාධිධරයෙකි. නමුත් ඔහු සාමාන්‍ය ජනතාව අතරට වැදී ඔවුන්ගේ හිතමිතුරෙකු ලෙස දිවි ගෙවන්නට කැමැති සරල නිහතමානී හාදයෙකි. ඔහු ලී ෂින් ලුන්ග් ය. ඊයේ පෙරේදා ලංකාවට පැමිණ ගිය සිංගප්පූරුවේ අගමැතිවරයාය.

ඔහු ලෝකයේම ඉහළ වැටුප් ලබන රාජ්‍ය නායකයා බවට පත්වන්නට හේතු වූ කාරණාවක් තිබේ. බ්‍රිතාන්‍යය වෙළඳ කොලනියක්ව කොන්වී තිබූ පුංචි තිතක් බඳු මෙරට නිදහස් කර ගනිමින් ආසියාකරයේ තද නීති රීති සහ විනයක් සහිත පොහොසත්ම වෙළඳපොළ බවට පත්කළ ලී ෂින් ගේ පියා වූයේ ලී ක්වාන් යූගේ පාලන ක්‍රමයයි. ලී ක්වාන් යූ රටට එක නීතියක් පවුලට තවත් නීතියක් අනුගමනය කළ නායකයෙක් නොවීය.

ලී ෂින් ලුන්ග් 70 ගණන්වල මුල් භාගයේ සිටියේ කේම්බ්‍රිජ් සරසවියට අනුබද්ධ ට්‍රිනිටි කොලීජියේ ගණිතය ඉගෙනගන්නා ශිෂ්‍යයකු හැටියටය. ඔහු රට ගොස් තිබුණේ රටේ රාජ්‍ය සේවා කොමිසමේ තෝරා ගැනීමක් අනුව ලද ශිෂ්‍යත්වයකට පින්සිදුවන්නටය. ඒ කොටින්ම ජනතාවගේ මුදල්වලිනි. බ්‍රිතාන්‍ය සරසවියේ කලක් සිටි ලී ෂින් ඒ කාලයේ එංගලන්තයේ තරුණයන් අතර ජනප්‍රියව පැවැති විලාසිතාවට අනුව කොණ්ඩය කර ළඟට වවා බෙල්බොටම් කලිසමකින් සැරැසී සිය රට ආවේය. සිංගප්පුරු ගුවන් තොටුපොළේදි මේ හිපියෙක් බඳු තරුණයාට බලධාරීන් රටට ඇතුළු වීමට ඉඩ නොදුන්හ. ඒ කාලයේ ලී ක්වාන් යූ කොණ්ඩය රැවුල වවා රස්තියාදුකාරයන් මෙන් සිටීම තහනම් කර තිබූ යුගයකි. ඉතින් රටේ අගමැතිවරයාගේ පුත්‍රයා වුවත් ලී ෂින්ට ඒ නීතියට පිටුපාන්නට නොහැකි විය. ලී ක්වාන් යූ හට මේ ගැන දැන්වූ විට ඔහු නියෝග කළේ තමන්ගේ පුතා වුවත් කොණ්ඩය කැපූ පසු රටට ඇතුළු කරගන්නා ලෙසටය. නැතිනම් අදාළ දඩය ඔහුගෙන් අයකර ගන්නා ලෙසටය. අන්තිමේදී ලී ෂින් කොණ්ඩය කපා තමන්ගේ මවුබිමට ඇතුළු වුණේ තාත්තා අගමැතිව සිටියදීය. මේ අන්දමේ දැඩි විනය පාලනයක් යටතේ හැදුණු වැඩුණු ෂින් ලුන්ග් නාස්තිකාර රාජකීය කුමාරයෙක් වූයේ නැත. ඔහු රටේ ජනතාවගේ මුදල් වලින් හොඳහැටි ඉගෙන ගත්තේය.

කේම්බ්‍රිජ් සරසවියේ ප්‍රථම පන්තියේ ගෞරව උපාධිධාරීන් අතරින් අංක එක බවට ෂින් ලුන්ග් පත්ව තිබේ. ඔහු අනෙක් ගෞරව උපාධිධාරීන්ට වඩා ඇල්ෆා ලකුණු 12ක් ලබා එනම් ඇල්ෆා 31ක් ලබා ජ්‍යෙෂ්ඨත්වය දිනාගත් තැනැත්තෙකි. සාමාන්‍යයෙන් එතෙක් අන් අය ලබාගන තිබුණේ ඇල්ෆා ලකුණු 15-16ක් පමණ අඩු අගයකි. ඒ කියන්නේ සාමාන්‍ය වහරෙන් කිවහොත් ලී ලුන්ග් හොඳ ගණිතයෙකි.එසේම ලී ෂින් 1974දී පරිගණක විද්‍යාව පිළිබඳ MSC උපාධියට සමාන ඩිප්ලෝමාවක් ලබාගන තිබේ. එයට අමතරව හාර්වඩ් සරසවියෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබාගත් අයෙකි.

ඔහු ගණිත අංශයේ පර්යේෂකයකු වන්නට වාසනා ගුණය ඇතිව උපන් තැනැත්තෙකි. කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය බෙලා බොලෝබන් ලුන්ග්ගේ මේ සුවිශේෂී ගණිත හැකියාව පිළිබඳ ලී ක්වාන් යූ සමග විස්තර කරමින් විශේෂයෙන් ඉල්ලා ඇත්තේ ලී ෂින් හට ගණිත අංශයෙන් ඉදිරියට යන්නට ඉඩදෙන ලෙසටය. නමුත් ලී ක්වාන් යූ එයට දී ඇත්තේ අමුතුම පිළිතුරකි. ලී ෂින් ගණිත අංශයෙන් දිගටම ඉගෙනීම කළොත් ඔහු ප්‍රින්ස්ටන්, කේම්බ්‍රිජ් හෝ හාවර්ඩ්වලට සින්න වූ චරිතයක් බවට පත්වෙනු ඇත. රටේ ජනතාවගේ මුදල් ගෙවා ඉගෙන ගෙන රටට ඵලක් නොවී සිය දැනුම පිටරටකට විකුණන්නකු වනු ඇත. එසේ වුවහොත් එය රටේ අනෙකුත් ජනතාවට වැරැදි පූර්වාදර්ශයක් වනු නිසැකය. මේ නිසා තුන් වසරක් ගතවන ගණිත උපාධිය වසර දෙකෙන් නිමාකර විශිෂ්ටතම ගණිත උපාධිධාරයා ලෙස නමක් රැන්දූ ලී ෂින් හට තම රටට සේවය කිරීම සඳහා නැවත එන්නට සිදුවිය. නමුත් දැන් පෙනී යන හැටියට එය වැරැදි තීරණයක් නොවේ. සිංගප්පූරුවේ අගමැති පඩියත් සමඟ සසඳා බලන කලටය.

ලී ෂින් ලුන්ග් ලෝකයේ දැනට සිටින ඉහළම වැටුප ලබන රාජ්‍ය නායකයාය. අමෙරිකාවේ රාජ්‍ය නායකයාටත් වඩා 4-5 ගුණයකින් ඉහළ වැටුපකි. පූටින්ට වඩා 12 ගුණයකි. සිය අගමැති වැටුප වැඩි යැයිද, එයින් ජනතාවගේ හිත රිදේ යැයිද කියා 2012 දී එයින් සියයට 36ක ප්‍රතිශතයකින් තමන්ගේ වැටුප අඩු කරගන්න යෙදිනි. එසේ අඩුකරගත් පසුවත් ඔහුගේ වාර්ෂික මූලික වැටුප ලංකාවේ මුදලින් කෝටි 26ත් පන්නයි. හරියටම කිවහොත් 26.13,92,000කි. කොටින්ම තේරෙන බාසාවෙන් කිවහොත් ලුන්ග් අගමැතිගේ වැටුපෙන්, ඉන්දියා, බ්‍රසීල්, ඉතාලි, රුසියා, අමෙරිකා, ප්‍රංශ, තුර්කි, ජපන්, දකුණු අප්‍රිකා සහ ජර්මනියේ නායකයන් සියලු දෙනාටම වැටුප් ගෙවන්නට හැකිය.

ලී ෂින් ලුන්ග් අගමැතිවරයා ජනතාවගේ මිතුරෙකු හැටියට ප්‍රසිද්ධය. පාරට බැස ජනතාව අතරට යන අගමැතිවරයා ඔවුන් කතාකරන වීදි භාෂාවෙන්ම කතා කරන්නේ කලෙක පටන් දන්නා මිත්‍රයකු ලෙසිනි. ඔහු සතු සදය උපහාසය පිරි පුංචි පුංචි රසකතා ඇතුළත් කතා විලාශය නිසා ඕනෑම කෙනෙක් සමග සැණෙක මිතුරු වී සිත් දිනාගැනීමට අගමැතිවරයාට හැකිය. හැබැයි ඔහු මේ කරන්නේ ජනතාව ඇන්දවීමට කරන රඟපෑමක් නම් නොවේ. ඔහු ජනතාවගේ මනසට නොව හදවතට අමතන්නෙකු හැටියට ප්‍රසිද්ධය. එසේම ලී ෂින් තමන් වෙත එන ඊමේල් පණිවුඩ ෆේස් බුක් ඇතුළු සමාජ ජාල ප්‍රතිචාරවලට මැදියම් රැය වනතුරුද ක්ෂණික ප්‍රතිචාර දක්වන්නෙකි. කොටින්ම ලී ෂින් යනු ජනතාවට ඕනෑම මොහොතක ළංවිය හැකි හාදයෙකි. ඔහු රාත්‍රී ආහාරයෙන් පසු මැදියම් රැය පසුවන තුරුම වැඩකටයුතුවල යෙදෙන අතර තමන්ගේ කාර්ය මණ්ඩලයද එසේ වැඩකරනු දැකීමට කැමැති තැනැත්තෙකි.

ලී ෂින් හා ඔහුගේ කාර්යබහුල අගමැති කාර්යාලය ගැන සටහනක් තබන ගැරී ඕව් නමැති නිෂ්පාදකවරයා පෙන්වා දෙන්නේ අගමැතිවරයා සතුව අනාගතය දක්නා ප්‍රවීණයන් කණ්ඩායමක් සිටිනා බවය. නීතිය, ආර්ථිකය, ව්‍යාපාර, තාක්ෂණය යන මේ විවිධ අංශවලට අයත් විශිෂ්ටයන්ගේ මණ්ඩලයක් අගමැති කාර්යාලයේ දිනපතා කාර්යබහුල ලෙස කටයුතු කරමින් අනාගතයේ විය හැක්කේ කුමක්ද යන්න ගැන නිවැරුදි පූර්වකථන ඉදිරිපත් කිරීමට කටයුතු කරයි. ඔවුන් මෙය හඳුන්වන්නේ “එහෙම වුණොත් මොකද වෙන්නේ?” ක්‍රීඩාව ලෙසටය. අපි වැඩිපුර කාර් හැදුවොත් මොකද වෙන්නේ? වැඩිපුර විදේශිකයන් ගෙන්නුවොත් මොකද වෙන්නේ? ජනතාවට කියවන්න ලියන්න බැරිවුණොත් මොකද වෙන්නේ? ඒක පුද්ගල ආදායම කිසියම් ප්‍රතිශතයකින් අඩු වුණොත් මොකද වෙන්නේ? වැනි විවිධ ක්ෂේත්‍රවලට අයත්ව ඉදිරියේදී සිදුවිය හැකි අලකලංචි පිළිබඳ මේ වනවිට තමන් සතුව ඇති දත්ත අනුව විමසා බලා පෙරැයුම් කිරීමට හෙවත් අනාගතයේ සිදුවිය හැකි අකරතැබ්බ ගැන කලින් කීමට මේ කාර්ය මණ්ඩලයට දිනපතාම සිදුවේ. ඔවුන්ගේ අනාවැකි දිනපතා අගමැතිවරයාට ලැබෙන අතර ඔහු ඒ අනුව රටේ සුබසිද්ධිය සඳහා ගතයුතු හොඳම තීරණය ගත්තේලු!

ලී ෂින් ලුන්ග් පාරට බැස ජනතාව අතරට මුසුව නිදහසේ ඇවිද යන කෙනෙකි. අපේ රටේ මෙන් ආරක්ෂක පවුරු තමන් වටා තබාගන්නට ඔහු කැමැති නැත. වරෙක ඔහු කටට රහට ඉතාමත් ලාබෙට බැදපු කුකුළු මස් ලබාදෙන බවට රටේම ප්‍රසිද්ධ ඒ නිසා නිතරම පාරිභෝගිකයන් මැස්සන් මෙන් පිරී තිරී සිටින Red hill Food Center හි කවුන්ටරයක් ඉදිරියේ දිගු පෝලිමක පැය භාගයක් පමණ හුදී ජනයා සමග සිටගෙන උන්නේය.  කුකුළු මස් දීසියක් ලබාගන්නටය. අවශ්‍ය නම් ඔහුට සිය ආරක්ෂක නිලධරයෙක් යවා මේ වැඩේ ලේසියෙන්ම කර ගන්නට හැකියාව තිබුණි. නමුත් ලී ක්වාන් යූගේ තමන් පළමුව ආදර්ශයත් වන්න යන උපදේශය ලී ෂින් ලුන්ග් අකුරටම පිළිපදින්නෙකි.

රටේ හමුදාවෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත එංගලන්තයේ ඉගෙනීමට වාසනාව ලැබූ ලී ෂින් නැවත සිය රට ආපසු පැමිණ දිගටම හමුදා නිලධරයකු ලෙස 1984 වනතුරුම සේවය කළේය. ලී ෂින්ග් ඉතා සීඝ්‍රයෙන් හමුදාවේ ඉහළ තනතුරුවලට පත්වූවෙකි. ඒ ඔහුගේ කැපවීම සහ දක්ෂතාවය මගිනි. ඔහු 1983 දී සිදුවූ සෙන්ටෝසා කේබල් කාර් අනතුරදී විශේෂ මෙහෙයුමක් සිදුකරමින් ජනකාන්ත නමක් දිනා ගත්තේය. ඔහු දේශපාලනයට පිවිසීමට 1984 දී හමුදාව හැර යනවිට රටේ ලාබාලතම බ්‍රිගේඩියර් ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

තාත්තා අගමැති වුවත් ලී ෂින් ට එකවර අගමැති පුටුව හිමිවූයේ නැත.  84 දී ටෙක් ජී පළාතේ ආසනය දිනාගත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේය. එහිදී ඔහුට වෙළඳ හා කර්මාන්ත රාජ්‍ය ඇමැතිකමත්, ආරක්ෂක ඇමැතිකමත් ලබාදෙන ලදී. ඒ වනවිට ලී ෂින් වයස 32ක තරුණයෙකි. එතැන් සිට දිගටම මැතිවරණ ජය ගනිමින් විවිධ තනතුරු හොබවමින් දිගු ගමනක් ආ ලී ෂින් ලුන්ග් හට උප අගමැති පදවියට සුදුසුකම ලැබෙන්නේ 1999 දීය. එවර අගමැති පදවියට පත් කෙරෙන්නේ පක්ෂයේ වඩාත් ජ්‍යෙෂ්ඨයාව සිටි ගෝචොක් ටොන්ග්ය. 2004 දී ලී ෂින්ග් සිංගප්පූරුවේ තෙවැනි අගමැති පදවියට පත් වූයේය. ඔහු රටේ වෙනස්කම් ගණනාවක්ම සිදුකළේය. දින පහේ වැඩ සතිය, මාස දෙකේ පඩි සහිත මාතෘ නිවාඩුව, උපත් වර්ධනය සඳහා හතර වැනි දරුවාට ආණ්ඩුවෙන් ගෙවීමක්, මෙන්ම රටේ ආන්දෝලනයක් ඇති කළ සිංගප්පූරුවේ මුල්ම කැසිනෝ හෝටල දෙකද ඔහුගේ රැඩිකල් වෙනස්කම්ය.

අගමැති ලී ෂින් ලුන්ග් හට භාෂා කිහිපයක්ම චතුරව භාවිත කළ හැකිය. මලයානු මූලික භාෂාවක් වන ජා යී හෝඩිය ඔහු ඉගෙන ගෙන ඇත්තේ වයස අවුරුදු පහ වන්නටත් පෙරය. ඒ හැර චීන, ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු භාෂාද උගත්තෙකි. ලී ෂින් ලුන්ග් දෙවරක් විවාහ වූ අතර ඔහුට දාව මේ විවාහ දෙකෙන්ම දරුවන් 5 දෙනෙකි. ඔහු රුධිරය ආශ්‍රිතව පිළිකාවකට ගොදුරු වූ අතර මාස 14ක කාලයක් රසායනික ප්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලැබීය. ඉන්පසු පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව හටගත් ආබාධයකට ශල්‍යකර්මයක්ද සාර්ථකව සිදුකර ගත්තේය. ලී ෂින් සංගීතය ප්‍රිය කරන්නෙකි. සුදෝකු ප්‍රහේළිකා පිරැවීමේ කප්පිත්තෙකි. ලී ෂින් තමාගේම වූ විසඳුම් ඇතුළත් පරිගණක වැඩසටහනක් සුදෝකු සඳහා නිර්මාණය කර තිබේ. ඡායාරූප ගන්නට ඉතා කැමැති ෂී ලුන්ග් ඒවා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන්නටද මහත් කැමැත්තක් දක්වන්නෙකි. නිතරම ගෙදර සෑදූ ගමේ ගොඩේ කෑමවලට කැමති තැනැත්තෙකි. ඔහු සතු මේ සියලු අපූර්වත්වයන් නිසාම සිංගප්පූරුවට ෂින් ලුන්ග් හැර වෙනත් අගමැතිවරයකු සොයාගැනීම දැන් අසීරු වී තිබේ. මේ නිසා සිය පියා මෙන් තමන්ම ඉල්ලා අස්වනතුරු ඔහුට අගමැති පදවිය සදහටම සින්නවන ලකුණු පහළ වී තිබේ.

 

♦ සුගත් පී. කුලතුංගආරච්චි

LEAVE A REPLY