පසුගිය වසරේ දෙසැම්බර් මස අවසාන කාලවකවානුවේ කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයෙන් කළ සමීක්ෂණයකට අනුව මෑත කාලයේ සැමියන් විසින් බිරින්දෑවරුන්ට හිංසා කිරීම හා පහරදීම්වලට ප්‍රධාන හේතුව අන්තර්ජාලය හා මුහුණු පොත යැයි හෙළිවී තිබේ. ලංකාවේ පමණක් නොව බොහෝ රටවල් කාන්තා හිංසනය පිළිබඳව විවිධ පරීක්ෂණ වරින්වර පැවැත්විණි. යුරෝපීය කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තම නිවෙසේදී හිංසාවට ලක්වන බව යුරෝපා කවුන්සලය විසින් කරනු ලැබූ එක්තරා සමීක්ෂණයකදී සොයාගෙන ඇත. බොහෝවිට ඔවුන් වර්තමානයේ ජීවත් වෙන පිරිමියාගෙන් හා පෙර ජීවත් වූ සැමියාගෙන්ද මෙම හිංසනය සිදුව තිබේ.

“මේ සමීක්ෂණය අපි කළේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට 2013 ජනවාරි සිට 2017 ජූනි මස දක්වා ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණි කාන්තාවන් අනුවයි. ඒ කාලය ඇතුළත කරාපිටිය රෝහලට ආ කාන්තා හිංසනයට භාජනය වූ කාන්තාවන් ඇසුරෙන් අපි සමීක්ෂණය කළා. එතනදී අපි නිවස ඇතුළත හිංසනයට භාජනය වූ කාන්තාවන් එකසිය අසූ තුනක් තෝරාගෙන තමයි මේ සමීක්ෂණය කළේ….”

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා දේශයට පැවසීය.

වර්තමානයේදී බොහෝ සැමියන්ගේ තාඩන පීඩනවලට ගොදුරුවන්නේ නිවසේ බිරියය. ජීවිතේ අනේක විධි දුක්ඛ දෝමනස්සයන්ට මුහුණපාන බිරින්දෑවරු බොහෝ විට සවස් කාලයෙන් පසුව සැමියාගේ පහරදීම්වලට ලක්වේ. කරනු ලබන සමීක්ෂණයට අනුව මෙම තාඩන පීඩනයන්ට කාන්තාව ගොදුරු වන්නේ සවස හයේ සිට රාත්‍රී දහය දක්වා අතර කාල සීමාවේය. එයට ප්‍රධාන හේතුව මත්පැන්ය.

“සැමියන් තුළ විවිධාකාර සැකයක් මතුවෙනවා. ෆේස්බුක්, අන්තර්ජාලය සහ මිස්කෝල් ආශ්‍රිතව දෙපාර්ශ්වය තුළ ඇතිවන මත ගැටුම් දුරදිග ගිහින් පහරදීම් වලට මුහුණ දෙන අවස්ථා 29%ක් වාර්තා වෙනවා. එය අද වෙද්දී කැපී පෙනෙන ලක්ෂණයක්. මීට පෙර වාර්තාවල මෙය මෙතරම් විශාලව වාර්තා වුණේ නෑ. වසර 7-8කට පෙර කළ වාර්තාවල මෙය ප්‍රධාන හේතුවක් ලෙසින් වාර්තා වුණේ නෑ.”

මෙම සමීක්ෂණයට අනුව 41%ක් වාර්තා වී ඇත්තේ මුහුණට සහ හිසට කරනු ලබන පහරදීම්ය. කාන්තාවන්ගෙන් සියයට 42%ක් පහරදීම්වලින් කරනු ලැබූ තුවාල වාර්තා විය. මේ අතර 2%ක ප්‍රතිශතයකට අනුව කාන්තාවන්ගේ ලිංගික අවයවවලට පහරදී තුවාල කර තිබුණි. සමීක්ෂණයට අනුව පහරදීම්වලට ලක්වන කාන්තාවන්ගේ ප්‍රධානම වයස සීමාවන් වන්නේ වයස අවුරුදු තිහට අඩු අයයි. ඔවුහු වයස අවුරුදු දාසයත් තිහත් අතර කාන්තාවෝ වෙති.

මේ පිළිබඳව අප කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනී එම්. කුමුදු පෙරේරා මහත්මියගෙන්ද විමසීමක් කළෙමු.

“නිවාසවල සිටින කාන්තාවන් අද වැඩිපුරම කරන්නේ තම ජංගම දුරකතනය ඔස්සේ අන්තර්ජාලයේ සැරිසරනවා. අද වනවිට රුපියල් විසි නවයටත් අන්තර්ජාලය සැරිසරන්න පුළුවන්. මේ බොහෝ කාන්තාවන්ට එය පරිහරණය කිරීම පිළිබඳව ඇත්තේ අඩු අවබෝධයක්. අන්තර්ජාලය ඔස්සේ ඔවුන් බොහෝතැන්වල සැරිසරනවා. කාලය ගෙවනවා තේරෙන්නේ නෑ. මේ වගේ නිවසේ, දරුවන්ගේ, තම සැමියාගේ වැඩකටයුතු පිළිබඳව අතපසුවීම් සිදුවෙනවා. මේ හේතුවෙන් නොදන්වා හිටියාට බොහෝ සැමියන් සිටින්නේ කේන්තියෙන්. කලකිරීමෙන්. මෙතනදී කාන්තාවක් ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල මාධ්‍ය සීමාවකින් තොරව සහ අනවබෝධාත්මක ලෙස පාවිච්චි කිරීම ඇයට හානිදායක වූ අවස්ථා තියෙනවා. විශේෂයෙන් හරියට නම ගම පවා නොදන්නා පිරිමි එක්ක ඉතා කෙටිකාලීන මිත්‍රකම් ගොඩනගාගෙන ඔවුන්ට තම නිරුවත් ඡායාරූප වීඩියෝ පවා ගන්න ඉඩදීලා අවසානයේ පවුලේ සියල්ල විතරක් නෙවෙයි සියදිවි නසා ගැනීම මගින් තම ජීවිතය පවා අහිමි කරගන්නට පවා පෙළඹුණ කාන්තාවන් ඉන්නවා. ඒ නිසා මේ සියලු මාධ්‍ය භාවිත කළ යුත්තේ වගකීමකින්.”

බිරිඳ තම ස්මාට් දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසුනද ඇතැම් සැමියන්ට අන්තර්ජාලය සම්බන්ධව ඇත්තේ අඩු දැනුමකි. රාජකාරි කටයුතු අධික වීම හේතුවෙන් ඔවුන් වැඩිපුර අන්තර්ජාලය තුළ සැරිසරන්නේ නැත. මේ නිසා බොහෝ සැමියන් තම බිරින්දෑවරු තමාට වඩා යමක් කමක් පිළිබඳව දැනගැනීම අධ්‍යයනය කිරීම පිළිබඳව ඇත්තේ නොසතුටකි. ඔවුන් මුලින් මෙය හිතේ තබාගෙන ඍජුව අකමැත්ත ප්‍රකාශ නොකළත් පසුව එකවරම එම කේන්තිය සහ අකමැත්ත පහරදීම්වලින් පිටකරති.

“අන්තර්ජාලයේ සැරිසරන කාන්තාවන්ට සීමාවක් නැහැ. හැමවිටම එම කාන්තාවන් තම ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය තුළ සැරිසරනවා. උදේ පාන්දරත් අන්තර්ජාලයේ සැරිසරමින් කාන්තාවන් නිවෙසේ අත්‍යවශ්‍ය වගකීම් රාජකාරි පවා පැහැර හරිනවා. ඇතැම් කාන්තාවන් පෙරදා රාත්‍රියේදී විකාශය වුණු ටෙලිනාට්‍ය කොටස පවා නරඹන්නේ අන්තර්ජාලයෙන්. මේ සිදුවීම් බොහෝ සැමියන් බලාගෙන ඉඳලා වෙනසක් වෙන්නේ නැති වුණාම පවුලේ ප්‍රශ්න ඇතිවෙනවා.”

කුමුදු පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

“අද වෙද්දී මෙම පහරදීම්වලට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ දුරකථනයට එනු ලබන “මිස් කෝල්” (Miss Call) ය. ඒ පිළිබඳවද ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනී කුමුදු පෙරේරා මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

වෙලාවක් නැතිව රාත්‍රියටත් ඇතැමුන් නොදන්නා අංකවලට ඇමතුම් දී දුරකථනය විසන්ධි කරනවා. බොහෝවිට දුරකථන අයිති කාන්තාවක් යැයි කටහඬින් හඳුනාගත් ඇතැම් පිරිමින් එකදිගටම දුරකථනයට ඇමතුම් දෙනවා. ඒකත් ඇතැම් නිවෙස්වල ප්‍රශ්න ඇතිවන්නට හේතුවක් වෙනවා.

අද වෙද්දී කාන්තාවන් බොහෝ දෙනෙකු රැකියා ප්‍රශ්නය නිසාත් පවුලෙන් වෙන්ව ජීවත්වෙති. ගමෙන් නගරයට පැමිණ තනි කාමරයක් හෝ ගෙන තනිව ජීවත්වෙන කාන්තාවන් කාලයක් යද්දී මෙම නොදන්නා අංකවලින් එන ඇමතුම්වලට දිගින් දිගටම පිළිතුරු ලබාදේ. එම පිරිමින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගනිති. බොහෝ විට “මිස් කෝල්” සැමවිට තමන්ගේ සැබෑ තොරතුරු වසන් කරති. ඉතා කෙටිකලකින් කාන්තාව මුණගැසී ඔවුන් ලිංගික සබඳතාවයන් ගොඩනගා ගනිති. එපමණක් නොව ඇයගේ සියලු මුදල් හා රත්තරන් භාණ්ඩ සියල්ලම කොල්ල කති. වංචාවට ලක්වී අවසානයේ එම කාන්තාව ගණිකා වෘත්තියට යෙදවීම්ද සිදුකෙරෙයි. සැමියා සහ දරුවන් ඇය එනතුරු බලා සිටියද අවසානයේදී නගරයේ ඇය ජීවත්වන්නේ ගණිකා වෘත්තියෙන් උපයා ගන්නා මුදලිනි. අවසානයේදී එවැනි කාන්තාවන්ට අත්වන ඉරණම ඛේදජනකය. එකල තිබූ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගැනීම, ඇමතුමක් ලැබීම සහ කෙටි පණිවිඩයක් යැවීමට පමණක් සීමා වුවද නවීන තාක්ෂණය දියුණු වීමත් සමඟ පාසැල් යන දරුවන් අත පවා සියලු පහසුකම්වලින් සමන්විත ස්මාට් දුරකථන තිබීම බොහෝ විට විනාශයට මුලකි.

“අද වෙද්දී මුහුණු පොත (facebook) හරහාද ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. අද බොහෝ කාන්තාවන් තම facebook ගිණුමේ ප්‍රධාන ඡායාරූපයට තම දරුවන්ගේ ඡායාරෑපයක් ඇතුළත් කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් අද වෙද්දී මේ දරුවන්ගේ ඡායාරූප ගෙන (We like to play with child) යන නමින් වෙබ් සයිට් එකක් පවත්වාගෙන යනවා. මේ පිළිබඳව සැලකිළිමත් වෙන්න. අපි නොදන්නා මානසික රෝගීන් බොහෝමයක් අන්තර්ජාලය ඔස්සේ සැරිසරනවා. දරුවන්ට සුභපතා තාත්තලා, අම්මලා facebook ගිණුමේ දානවා. තම බිරියට සුභපතා සැමියන් facebook ගිණුමේ එක එක සුභපැතුම් දානවා. නමුත් තමන්ගේ ආදරය පෞද්ගලිකව විඳින්න. එය ඇය සහ ඔහු සමඟ පෞද්ගලිකව සමරන්න. එය ලෝකයට දැනගන්නට ඉඩදෙන්න එපා. තමන්ගේ ඡායාරූප අනවශ්‍ය ලෙසින් facebook වෙත මුදාහැරිය විට මේ සමාජයේ සිටින ඇතැම් මානසික රෝගීන් එයට වැරදි දේකට යොදාගන්නවා. ඇතැම් ඡායාරූප විකෘති කරනවා. ඒ නිසා අවසානයේදී සිදුවන්නේ තම පවුල් ජීවිතය විනාශකර ගැනීමයි. තම මුහුණු පොතේ නොදන්නා යාළුවන් සීමා කරන්න. තම පාසැල් යාළුවන්, තම හිතමිතුරන් පමණක් ඔබේ මුහුණු පොතට එක්කර ගන්න. නොදන්නා යාළුවන් ඔබේ මුහුණු පොතට එක්කොට ඔබේ වටිනා පවුල් ජීවිතය ඔබේ ජීවිතයෙන් ඉවත් කරගන්න මඟ පාදාගන්න එපා.” යැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනී කුමුදු පෙරේරා මහත්මිය දුන් ඔවදන සමස්ත කාන්තා ඔබටම ප්‍රයෝජනවත්ය යන්න අපේ හැඟීමයි.

කාන්තා හිංසනයට ප්‍රධාන හේතුව ලෙසින් ඈත අතීතයේ සිටම වාර්තාවී ඇත්තේ සැමියාගේ මත්පැන් පානයයි. එසේම අනියම් සම්බන්ධකම් ඇතිවීමත්, එවැනි සම්බන්ධකම් ඇති බවට සැමියා තුළ පැනනැගෙන සැකයත් හේතුවෙන් කාන්තාව නිවස තුළ සැමියාගේ පහරදීම්වලට ලක්වේ.

“මට හැමදාමත් මගේ සැමියා පහර දෙනවා. මම කාලයක් තිස්සේ ඉවසුවා. ඒ මගේ දරුවන් නිසායි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවෝ පුංචි කාලේ මම උන් දෙන්නව තුරුලු කරගෙන අඬපු අවස්ථා අනන්තයි. කිසිම හේතුවක් නැතිව තමයි එයා මට ගහන්නේ. හැමදාම ගෙදර එන්නේ බීගෙනයි. දවසේ හම්බකරන හැම සතයක්ම වියදම් කළේ මත්පැනට. දරුවෝ පුංචි කාලේ උන් දෙන්න ඇඳ යට හැංගෙනවා. බීගෙන කෑගහන තාත්තාගේ කටහඬ ඈතින් ඇහෙද්දී පුංචි දරුවෝ වෙව්ලනවා. මුළු පළාතම දන්නවා එයා මට ගහනවා කියලා. සමහරදාට ඔළුව බිත්තියෙ හප්පනවා. ඒත්… මොනවා කරන්නද… දරුවෝ දෙන්නා වෙනුවෙන් මං ඉවසුවා. සමහරදාට හයියෙන් දුවන කෝච්චියට දුවලා ගිහින් බෙල්ල තියන්න හිතුණා. සමහරදාට දරු දෙන්නත් එක්ක මුහුදට පනින්න හිතුණා. ඒත්…. එහෙම වුණාම අපේ කැමැත්තට මේ ලෝකෙට බිහිවෙච්චි දරු දෙන්නට ජීවිතයක් කොහෙන්ද…? ඒ නිසා මම ඉවසුවා. කීපවතාවක්ම අසනීප වෙලා ඉස්පිරිතාලේ පවා ගිහින් නැවැතුණා…”

සැමියාගේ තාඩන පීඩනයට ලක්ව කීපවතාවක්ම ජීවිතය නසාගන්නට සැරසුනු කේ.එල්. විමලාවතී මහත්මිය ඇය දුන් නීරස අත්දැකීම් වචන බවට පෙරළා තිබුණේ ඒ අයුරින්. දරු දෙදෙනා හේතුවෙන් ඇය බොහෝ දේ ඉවසූ බවත් සැමියාගේත් පවුලේත් ගෞරවය රැකගනු වස් රෝහල් ගතවූ සෑම අවස්ථාවකදීම සත්‍ය වසන් කළ බවත් ඇය කියා සිටියාය.

“කාන්තා හිංසනය සහ ගෘහස්ථ හිංසනය යන කාරණා අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ නිතරම කතාබහට ලක්වන කාරණාවක්. ළමා අපචාරය වගේම කාන්තා හිංසන පිළිබඳව නිවැරදි දත්ත, නිවැරදි සංඛ්‍යාලේඛන අපිට හුඟාක් වෙලාවට ලැබෙන්නේ නෑ. එයට විවිධ හේතුන් බලපානවා. පහරදීම්වලට ලක්වූ කාන්තාවන් ඒ පිළිබඳව කියන්නේ නෑ. කාන්තා හිසංනය පිළිබඳව එක් සිදුවීමක් අපට වාර්තාවෙද්දී වාර්තා නොවුණ සිදුවීම් බොහෝමයක් යට යනවා. ඒ නිසා මේ වගේ කාලීනව නිරන්තරයෙන් නිරීක්ෂණය කරලා ඒ දත්ත අපි සමාජයට ඉදිරිපත් කරනවා. එමගින් ඉදිරියේදී කාන්තා පහරදීමක් සිදුවුවහොත් අවශ්‍ය උපදෙස් ගැනීමට කාන්තාව පෙළඹේවි…” යැයි වෛද්‍ය අජිත් රත්නවීර මහතා පැවසීය.

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශය විසින් වසර කීපයක් පුරාම මෙම සමීක්ෂණයේ සිදු කරන ලදී. 2010 සිට මෙම දත්ත ඔවුන් සතුව පවතී. ඒත් ඒ තුළයි දත්ත හා වර්තමාන දත්ත අනුව ඉතා විශාල වෙනසක් ඇති නොවුණද ඇතැම් කාරණාවල වෙනස්කම් දක්නට ලැබුණි.

මෙම දත්තවලට අනුව පහරදීමට හේතුවට ප්‍රධාන හේතුන් ලෙසින් එකල ප්‍රධාන තැනක් මත්පැනට හිමිවිය. අදද එහි කිසිදු වෙනසක් නැත. නමුත් අන්තර්ජාලය ආශ්‍රිතව යම් යම් ගැටලු සහගත තත්ත්වයන් මත සිදුවන හිංසනයන් වැඩි වී තියෙනවා… යැයි විශේෂඥ වෛද්‍ය අජිත් රත්නවීර මහතා දේශයට පැවසීය.

සවස හයත් රාත්‍රී දහයත් අතර කාලය තුළද කාන්තා හිංසනයට ලක්වුණු බොහෝ කාන්තාවන් එම හිංසනයට මුහුණ දී ඇත්තේ තම නිවස තුළය. එය ප්‍රතිශතයක් ලෙසින් 89%කි. මෙයින් කායික වශයෙන් පීඩාවන් 183ක් වාර්තා වූ අතර මානසික වශයෙන්ද පීඩා 130ක් වාර්තා වී තිබුණි. එපමණක් නොව විවිධ අන්දමින් කාන්තාවන් පාලනය කිරීමට උත්සාහ ගැනීම් වාර්තා වන්නේ 42කි.

“ඉවසගෙන ඉන්නම බෑ…. බැරිම තැන මම පොලීසියටත් ගියා. පොලිස් පොතේ ලියලා එයාට ගෙන්නුවා කියලා ගෙදර ගියපු හැටියේ මට හොඳටම ගැහුවා. ඒක නිසා මම තීරණය කළා දික්කසාදය වෙන්න… උඹට මම වෙන මිනිහෙක් එක්ක යන්න දෙන්නේ නෑ… කියලා මට දික්කසාදය දෙන්නෙත් නෑ… ඉන්න දෙන්නෙක් නෑ… ඇත්තටම මේ ජීවිතය අපා දුකක්…”

නීති පිහිට පතා ජීවිතයට සැනසීමක් ගෙන එන්නට උත්සාහ ගත්තද අදද සාගරිකා හේරත් පසුවන්නේ දැඩි කලකිරීමකිනි.

බොහෝ කාන්තාවන්ට සැමියා පහරදෙනු ලබන්නේ මිටි මොළවා ගත් අතිනි. ශක්තිමත් දෑතින් පහරකෑම දැඩි වේදනාකාරීය. එයින් නොනවතින සැමියා ඇයට අතින් පයින් පහරදීම පමණක්ම නොව ඇඳ පොලුවලින්, කොසු මිටෙන් සහ අතට හසුවන ඕනෑම දෙයකින් පහර දෙති. කරනු ලබන සමීක්ෂණයට අනුව කැපෙන ආයුධවලින් සිදුවූ පහරදීම් වාර්තා වන්නේ 4%ක ප්‍රතිශතයකි. සුළු සුළු ගැටලු දුරදිග යාම මත කාන්තාවන්ට පහරදීම් වාර්තාවන්නේ 19%කි. බොහෝ විට රාත්‍රී ආහාරය රසවත් නොවීම, නිදන ඇඳ පිළිවෙළට සැකසී නොතිබීම ආදී හේතු මෙයට බලපායි.

දිශානි ජයමාලි කරුණාරත්න – දේශය පුවත්පත

LEAVE A REPLY