ඕස්ට්‍රේලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම පන්දුව පළුඳු කිරීම සම්බන්ධයෙන් ලොවම අවධානයට ලක්‌ව සිටින මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසා සිටියේ අපේ ක්‍රීඩකයන්නම් කවදාවත් එසේ නොකරන බවට විශ්වාස බවයි.

ලබන 30 වැනිදා ආරම්භ වන සිව්දින පළාත් ක්‍රිකට්‌ ශූරතාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී මැතිව්ස්‌ වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මේ වගේ තරගාවලියක්‌ සංවිධානය කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ස්‌තුතිවන්ත වෙනවා. මම පෞද්ලිකව විශ්වාස කරනවා මෙවැනි තරගාවලියකදී හොඳම 60-70 එකට ක්‍රීඩා කිරීමෙන් ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට විශාල ශක්‌තියක්‌ ලැබෙන බව. ඒ ක්‍රීඩකයන්ට ලොකු වගකීමක්‌ තියෙනවා. අපි පසුගිය දවස්‌වල හුගක්‌ දේවල් දැක්‌කා. එක සිදුවීමක්‌ ඇති හානියක්‌ වෙන්න. පන්දුව පළුදු කිරීම වගේ සිදුවීම් අපේ ක්‍රීඩකයන් කවදාවත් කරලත් නැහැ කරන්නෙත් නැහැ කියලා විශ්වාසයි. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ගුණාංග රැක ගනිමින් ඉදිරියට යන්න මේක හොඳ අවස්‌ථාවක්‌.”

ආබාධ තත්ත්වය තවමත් සියයට සියයක්‌ සුව නොවීම හේතුවෙන් මහනුවර කණ්‌ඩායමේ නායකත්වය දරන ඇන්ජලෝ මැතිව්ස්‌ පළමු තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට උපනායක නිරෝෂන් දික්‌වැල්ල කණ්‌ඩායමට නායකත්වය ලබාදෙනු ලබයි. මේ අතර කොළඹ කණ්‌ඩායම දිනේෂ් චන්දිමාල් විසින්ද ගාල්ල කණ්‌ඩායම සුරංග ලක්‌මාල් විසින් සහ දඹුල්ල කණ්‌ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවනු ලබයි. නායකයන් සියලු දෙනාගේම පොදු මතය වුයේ මෙවැනි තරගාවලියක්‌ පැවැත්වීම ඉතාමත් වැදගත් බවයි.

“නීතියට විරුද්ධ දේවල් කවදාවත් කරන්න එපා. සන්තෝෂයෙන් ගෞරවයෙන් මැදට ගිහිල්ලා සියයට සියයක්‌ කණ්‌ඩායමට ලබාදෙන්න. එක් ක්‍රීඩකයකු හෝ දෙන්නකු හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද වනවිට වෙලා තියෙන දේ බලන්න. අද ඔවුන් උස්සලා පොළොවේ ගැහුවා වගේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. ලෝකයම ගෞරවය කරපු රටක් මේ තත්ත්වයට වැටුණේ එක් ක්‍රීඩකයකු හෝ දෙන්නෙකු කළ වරදක් නිසයි. බංග්ලාදේශ තරගයේදී තිසර පෙරේරා කළ දේට අපි ආඩම්බර වෙන්න ඕන. ඔහු බංග්ලාදේශ ක්‍රීඩකයන් සමඟ ආරවුලකට ගියේ නැහැ. ඔහු ලංකාවේ ගෞරවය රැකගත්තා” යනුවෙන්ද සුමතිපාල මහතා පැවැසීය.

30 වැනිදා ආරම්භ වන සිව්දින පළාත් ක්‍රිකට්‌ ශූරතාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් හා බලධාරීන් අදහස් දැක්වූ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න…

 

LEAVE A REPLY