අලුත් අවුරුදු සමයේ රාජකාරි බහුල වාතාවරණයකට මැදිව සිටියද උතුරු මැද පළාතේ සියලුම පොලිස් අධිකාරිවරුන් සහකාර පොලිස් අධිකාරිවරුන් සහ ස්ථානාධිපතිවරුන් අවුරුදු උත්සවයක් සඳහා හෙට (12 වැනිදා) හබරණට කැඳවා ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් තමන් මහත් අසීරුතාවට පත්ව ඇති බවත් අලුත් අවුරුදු උත්සව සමයේ ඒ ඒ පොලිස් බල ප්‍රදේශයන්හි ආරක්ෂක කටයුතු මෙහෙයවීමට සහ අධීක්ෂණයට බාධා පැමිණ ඇතැයි අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි පොලිස් ස්ථානධිපතිවරු පවසති.

උතුරු මැද පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් තවදුරටත් සදහන් කරන්නේ විශේෂයෙන්ම ප්‍රධාන සහ උප නගර වල කඩ සාප්පු විවෘතව පවතින්නේ හෙට (12) දිනයේ පමණක් බවයි. එවැනි දිනයක සියලු ප්‍රධාන නගර සහ උප නගර මහජනතාවගෙන් පිරී ඉතිරී පවතින බවද සදහන් කරන පොලිස් ස්ථානාධිපතිවරු එවැනි තත්ත්වයක් තුළ ඒ ඒ පොලිස් බල ප්‍රදේශ වල ආරක්ෂක කටයුතු අධීක්ෂණයට සහකර පොලිස් අධිකාරිවරුන්ද ආරක්ෂක කටයුතු මෙහෙයවීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ද තම පොලිස් ස්ථාන තුල රැඳී සිටීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කරති.
ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි බ්‍රහස්පතින්දා (12 වැනිදා) දහවල් කාලයේ පැවැත්වෙන මෙම අවුරුදු උත්සවයෙන් අනතුරුව රාත්‍රියේ සාදයක්ද සංවිධානය කර ඇති බවත් කියැවේ. මෙම සාදයට අවශ්‍ය මත්පැන් මෙන්ම කට ගැස්මට දඩමස්ද පොලිස් ස්ථානාධිපතිවරුන් මගින්ම ගෙන්වා ගැනීමට දැනටමත් සැලසුම් කර ඇති බවත් කියැවේ.

නිළධාරීන්ගේ එකමුතුකම සහ මානසික ආතතිය තුරන් කිරීමේ අරමුණින් සංවිධානය කරන බව කියන මෙම අවුරුදු උත්සවය පොළොන්නරුවට ආසන්න සුප්‍රසිද්ධ හෝටලයක වැව් තාවුල්ලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. උතුරු මැද පළාතේ උසස් පොලිස් නිළධාරියකුගේ නියෝග මත අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකහි පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ ස්ථානාධිපතිවරුන් මෙම අවුරුදු උත්සවයට කැඳවනු ලැබ ඇත.

මෙහි විශේෂත්වය වන්නේ තෑගි බෝග වශයෙන් විවිධ භාන්ඩ රැගෙන එන ලෙස සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුටම නියෝග කර තිබීමයි. සරොම් පමණක් 100 ක් රැගෙන එන ලෙසට දැනුම්දී ඇත.
පොලිස් ස්ථානාධිපතිවරුන් මගින් විවිධ තෑගි ගෙන්වාගෙන එම තෑගි උසස් පොලිස් නිළධාරියා විසින් අලුත් අවුරුදු තෑගි ලෙසින් නැවත බෙදා දීමේ ක්‍රමයක් අනුගමනය කරන බවද කියැවේ. මෙම තෑගි එකතු කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් මේ වන විටත් වෙළෙඳුන් මුණගැසීමට යන බවත් එනිසාම තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් කියැවේ.

  • පුවත් මුලාශ්‍රය – ලංකාදීප වෙබ් අඩවිය.

LEAVE A REPLY