සිය මෝටර් රථයට වෙඩි තබා ගැනීමේ සිද්ධියට රුපියල් ලක්‍ෂ පහක කොන්ත්‍රාත් මුදලක් වෙඩික්කරුවන්ට ලබාදීමට මාලබේ ‘සයිටම්’ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතා පොරොන්දු වී ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව එම පොරොන්දු මුදල නොගෙවා රුපියල් ලක්‍ෂයක මුදලක් පමණක් වෙඩික්කරුට සහ යතුරුපැදිකරුට ලබාදී ඇති බවට පරීක්‍ෂණවලදී හෙළිදරව් වී ඇත.

සමීර සේනාරත්න මහතා සහ ඔහුගේ සමීප මිත්‍රයකු වන කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයකු මේ සැලසුම සිදුකොට ඇතැයිද හෙළිවී තිබේ.
ජීවිත තර්ජන ඇති බවට හුවා දැක්වීමේ අරමුණින් මේ සැලසුම ක්‍රියාවට නංවා ඇති බවත් ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන්ට කොන්ත්‍රාත් මුදලෙන් රුපියල් ලක්‍ෂයක් අදාළ නාගරික මන්ත්‍රිවරයා විසින් ලබාදී ඇති බවද හෙළිදරව් වී ඇත.
කොන්ත්‍රාත් මුදලේ ඉතිරිය වන රුපියල් ලක්‍ෂ හතර පසුව ලබා දෙන බවටද හිටපු නාගරික මන්ත්‍රිවරයා වෙඩික්කරුවන්ට දන්වා තිබූ බවද අත්අඩංගුවට පත් වෙඩික්කරු පොලිසියට පවසා තිබේ.

සැලසුම ක්‍රියාත්මක කරමින් ඉකුත් පෙබරවාරි 6 වැනි දින රාත්‍රියේ මාලබේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආසන්නයේදී වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ 2ක්, 3.8 වර්ගයේ රිවෝල්වරයක්, උණ්ඩ තුනක් සහ මේ ප්‍රහාරයට භාවිත කළ බවට සැකකරන යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
වෙනත් වරදකට රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති යුද හමුදා විශේෂ බළකායේ හිටපු හමුදා සෙබළකුගෙන්ද, වෙඩි තැබීමේ සිද්ධිය ගැන විමර්ශනය කරන විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර ඇත.

මේ අතර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වෛද්‍ය චමීර සේනාරත්න මහතාගෙන් පෙරේදා (27දා) දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.
මේ සැලසුම ක්‍රියාත්මක කළ කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයා සහ පළාත් පාලන ආයතනයක රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සහ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විමර්ශන කටයුතු අරඹා ඇත.
මේ අතර සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට තීරණය කර ඇත. ඔහු ඔහුටම පහරදී ගැනීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසු සයිටම් ආයතනය මෙම තීරණයට එළැඹිණි.

සේනාරත්න මහතා එම තනතුරෙන් ඊයේ (28දා) සිට ඉවත් වන බව පැවැසුවේ යැයි නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

 

LEAVE A REPLY