ශ්‍රී ලංකාව අද වනවිට සංහිඳියාව ඇති කිරීමට සහ ගැටුම් යළි ඇති නොවන සේ වගබලා ගැනීමටද පියවර ගනිමින් සිටින රටක් බව ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාව අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමාලෝචනය කෙරෙන “විශ්ව කාලාන්තර සමාලෝචන” වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී පෙරේදා (19) සම්මත විය.

ඒ අනුව විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලියේ තුන්වැනි චක්‍රය යටතේ කෙරුණු ශ්‍රී ලංකාවේ විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව මෙලෙස සම්මත වූ අතර සෑම වසර පහකට වරක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 හිම මානව හිමිකම් තත්ත්වය කාලාන්තර වශයෙන් සමාලෝචනය කෙරෙන අද්විතීය ක්‍රියාවලියක් වන මෙය තුල්‍ය සමාලෝචනය මත පදනම් වූ සෑම රටක්ම සම තත්ත්වයෙහි ලා සලකන ක්‍රියාවලියක් බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රකාශ කරයි.

එම නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමේ කාර්යය මේ වනවිට ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන අතර මානව හිමිකම් ආරක්ෂණවලට සහ සෙසු ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල වන ත්‍රස්ත විරෝධී පනතක් මෙහිදී අපේක්ෂා කරන බවද දේශීය භාෂාවලට පරිවර්තනය කිරීම ආදී ක්‍රියාදාම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ සලකා බැලීම පිණිස සභාගත කිරීමට ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කරන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි. මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකා විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය සම්මත විය. එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ පද්ධති සහ ක්‍රියා පරිපාටි මෙන්ම සියලු නියෝජිතායතන සමඟ සෑම මට්ටමකින්ම ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වෙමින් ඉදිරියට අඛණ්ඩවම සහයෝඟයෙන් කටයුතු කරන බවයි. මෑතක දී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් සමහර සංවිධානය වූ කණ්ඩායම් සහ තනි පුද්ගලයන් විසින් උසිගන්වනු ලැබූ මෙම බියගුළු ක්‍රියාවලට ශ්‍රී ලංකාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී, බහුවිධ සමාජයේ තැනක් නොමැති බව පෙන්වා දී තිබෙන තානාපතිවරයා එවැනි ක්‍රියා සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සහතික කෙරෙන පොදු දැක්මට විරුද්ධ බවද මෙම සිද්ධිවලට වගකිව යුතු සියල්ලන්ටම එරෙහිව නීතිතිය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබෙන බවද සඳහන්කර තිබේ.

සියලු පුද්ගලයන් බලෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති පද්ධතිය බලාත්මක වූයේ සියලු පුද්ගලයන් බලෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත 2018 මාර්තු 07 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් බව සඳහන් කර තිබෙන ඒ මහතා මෙමඟින් බලෙන් අතුරුදන් කරවීම සාපරාධී අපරාධයක් බවට පත්වන බවද පෙන්වා දුන් බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY