ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ජකර්තා නුවර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයින් එම සමුළුව ඇරඹු ආකාරයයි මේ.
කුෂාන් සුබසිංහ -ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට

වෙළෙඳ, සංචාරක, ප්‍රවාහන හා සේවා අංශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ කේන්ද්‍රස්‌ථානය බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායක සමුළුව අමතමින් ඊයේ (07 වැනිදා) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවසීය.

ඉන්දියානු සාගර කලාපයේ නීති විරෝධී අන්දමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහාත් නාවික කටයුතු ආරක්‍ෂිතව කරගෙන යැම සඳහාත් ස්‌ථාවර නීති පද්ධතියක්‌ ක්‍රියාත්මක කරන ලෙසත් තමන් ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායක සමුළුවෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ඉන්දියානු සාගර කලාපීය රටවල සන්නිවේදනය, තාක්‍ෂණය සහ සහයෝගිතාව තවදුරටත් ශක්‌තිමත් කළ යුතු බවත් ඉන්දියානු සාගර කලාපය ලොව වේගයෙන් සංවර්ධනය වන කලාපයක්‌ බවත් ජනාධිපතිවරයා කීය.

ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි ජකර්තා සම්මන්ත්‍රණ ශාලාවේදී රටවල් 21 ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

LEAVE A REPLY