අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී සහ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් අබියසදී අමුතුම අයුරක පුණ්‍යකර්මයක නිරත වන පින්වතකු අපට හමුවිය. ඔහු නමින් එන්.එම්. රංජිත් විජේවර්ධනයි. ඔහුගේ මේ අමුතු පුණ්‍යකර්මය සම්බන්ධව රංජිත් විජේවර්ධන මහතා මෙසේ පැවැසීය.

‘මම රියැදුරු කෙනෙක්. සෑම දිනකම මම උදේ 7ට විතර ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසට පැමිණෙනවා. අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට හෝ යම් කරුණකට මහා සංඝරත්නයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් හෝ කිහිප නමක් එසේ නැත්නම් සිල් මෑණියන් වහන්සේ වෙනුවෙන් මම නොමිලයේ ගමන් පහසුව ලබාදීම සඳහා සැදී පැහැදී සිටිනවා.
අටමස්ථානාධිපති ගෞරවනීය ගෞරවාර්හ පල්ලේගම සිරි නිවාස නාහිමියන් සහ රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අවසරය පරිදි උඩමළුව පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිසියද දැනුවත් කර, නගරයට ළඟම විහාරස්ථානයකට යෑමට අවශ්‍ය වන මහා සංඝ රත්නයට, සිල් මෑණිවරුන්ට මම නොමිලයේ ගමන් පහසුව ලබා දෙනවා.

උදේ ආවාම මම රාත්‍රි 8 වන තෙක්ම එම ස්ථානවල සිටිනවා. මගේ දුරකතන අංකය 071-6428707 අනුරාධපුරයට පැමිණියාම ඕනෑම අවස්ථාවක ගෞරවනීය ස්වාමින් වහන්සේ, සිල් මෑණිවරුන් මට දුරකතන පණිවුඩයක් ලබා දෙන්න. මම ඒ වැඩ සිටින ස්ථානයකට පැමිණ අවශ්‍ය ස්ථානයට වැඩම කරවනවා. සමහර පන්සල්වලට හාමුදුරුවන් වැඩමවා එන්න හදන විට මට ආහාරපාන පවා ලබා දෙනවා. මම එහෙමවත් උදව්වක් බලාපොරොත්තු නෑ. එහෙත් මෙවැනි පින්කමක් කරන විට අන් අයත් ඒ සඳහා සම්බන්ධ වන්න ඕන කියලා ඒ ස්වාමින් වහන්සේ මට ආහාර, තේ එහෙම ලබා දෙනවා. කොළඹ සිට පැමිණෙන මහත්තුරු ඩීසල් ටිකක් ගහගන්න කියලා මුදල් දීලා යන අවස්ථා තිබෙනවා. මගේ වාහනයේ අංකය 2215 දරන වෑන් රථය. කිසිම අයුරකින්වත් මුදල් හෝ යම් සහන බලාපොරොත්තුවෙන් නොවෙයි මම මේ පින්කම කරන්නේ. නොමිලයේ ප්‍රවාහන පහසුකම් ලබාදීම නිවන් මඟට පහසුකම් ලැබෙනවා.

මට හැමදාම ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි චෛත්‍ය ඇතුළු අටමස්ථානය වැඳපුදා ගැනීමටත් පුළුවන් වෙනවා. ඒකත් මම ලොකුම පිනක් ලෙස සලකනවා.’
මේ පින්වන්ත රංජිත් විජේවර්ධන මහතා අවුරුදු 55ක දරුවන් දෙදෙනකු හා ආදරණීය බිරියක් සිටින අයෙකි.
රංජිත් විජේවර්ධන මහතාගේ වෑන් රථයේ මෙසේ ලියා තිබේ.
යානාදෝ සුඛදෝ හෝතී
ගෞරවනීය ස්වාමින් වහන්සේට සහ සිල් මෑණියන් වහන්සේට ගමන් පහසුව සැලසේ.

LEAVE A REPLY