අනුකාරක සිනමාවෙන් දේශීය සිනමාව මුදාගෙන, ශ්‍රී ලාංකේය සිනමාව නව මඟකට යොමු කළ, ජගත් කීර්තිධර, සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද (02දා) දැයෙන් සමුගනී.

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු හා තිරකතා රචකයකු ලෙස අද්විතීය මෙහෙවරක් මෙරට සිනමා ක්ෂේත්‍රයට ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු අද (02දා) පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන අතර කොළඹ 5, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කර ඇති දේහය අද (02දා) පෙරවරු 10.00ට නිවෙසේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන ඒමට නියමිතය.

අද පෙරවරු 11.30 දක්වා එහිදී කලාකරුවන් පුෂ්පෝපහාර දක්වන අතර, ඉන් අනතුරුව දේහය රිය පෙරහරකින් කොළඹ 07, නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යෑමට නියමිතය.

මහජන ගෞරවය සඳහා දේහය නිදහස් චතුරස්‍රයේ තැන්පත් කළ පසු පස්වරු 3.30ට බෞද්ධ චාරිත්‍රානුකූලව පාංශුකූලය දීම සිදු කෙරේ.

අනතුරුව පස්වරු 4.00ට අවමංගල්‍ය සභාව ඇරැඹෙන අතර, එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුද, ආචාර්ය සුනිල් ආරියරත්න, සිනමාවේදී රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලාකරුවන් පිරිසක්ද ගුණකථන පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 6.00ට චිතකයට ගිනි දල්වන බව අවමංගල්‍ය උත්සව කමිටුව පවසයි.

  • මව්බිම >>> බන්දුල ගුණරත්න, චාමිනී ගම්මන්පිල

LEAVE A REPLY