ඔහු උත්තුංග දේහධාරි සිරුරකට හිමිකම් ඇති මිනිසකු නොවේ. නමුදු උතුම් ගතිගුණ ඇති අපූරු මිනිසෙකි. ජීවිතයට වඩා විශාල වූ මිනිසෙක් ලෙස හැඳින්වීම වඩා හොඳය. ඔහු ගැන දන්නා ශ්‍රී ලාංකීය ජනතාව ඔහු හඳුන්වන්නේ නූතන අනේපිඬු සිටාණෝ යනුවෙනි. සත් ගුණවත් ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටින අතරේ සසුනට මෙන්ම සමාජයට කර ඇති සේවය විටෙක අදහාගත නොහැකි තරම්ය. මෙය අතිශයෝක්තියකින් කරන ලද හැඳින්වීමක් නොවන වග අභියෝග ජයගත් මේ මිනිසාගේ කතාව කියවීමෙන් පසු පාඨක ඔබ වටහා ගනීවි.

කරුණා රාජපක්ෂ ගෙදර විජේසුන්දර ඔහුගේ සම්පූර්ණ නාමය වේ. ශ්‍රී ලාංකීය ජනතාව අතර ඔහු ප්‍රකටව සිටින්නේ සී.අයි.බී. (C.I.B.) ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ විජේසුන්දර යන නාමයෙනි. නැතහොත් කේ. ආර්.ජී. විජේසුන්දර නමිනි. මේ විජේසුන්දර උපන්නේ මහනුවර පළාතට අයත් හාරිස්පත්තුවේ මාපාමඩුල්ල නමැති සුන්දර ග්‍රාමයේදීය. එක් පසෙකින් යහලතැන්න කඳුවැටිය රමණීය දසුනක් මවන මාපාමඩුල්ල ග්‍රාමය පනහේ දශකයේදී කෙසේ තිබිණි දැයි මොහොතකට අප අතීතයට එබී බලමු.

කරත්ත පාර එදා මේ ගම හරහා වැටී තිබුණු එකම ගමන් මග විය. මෙම පාරේ ගියේ එක් කරත්තයක් පමණි. ඒ සමාගම් කඩේට හෙවත් සමුපකාරය වෙත භූමිතෙල් ප්‍රවාහනය කළ කරත්තය පමණකි. පාපැදි දෙකක් මේ කරත්ත පාරේ ඉඳහිට රටා මැවීය. ඒ පාපැදි දෙකෙහි හිමිකාරයින් වූයේ ගමේ ආරච්චිලා සහ වෙද මහත්තයාය. සතා සීපාවුන් බහුලව ගැවසුණු මේ සුන්දර ගමේ විසූ ගැමියෝ අව්‍යාජ ගැමිකම උරුමකර ගත් ගැමියන්ම වූහ.
කේ. ආර්. ඩේවිඩ් සහ ගුණවතී යුවළ සතුව දරුවන් නව දෙනෙක් වූවෝය. විජේසුන්දර උපත ලැබුවේ පවුලේ අටවැන්නා ලෙසය. අංක විද්‍යාවට අනුව චීන ජාතිකයින් අංක 8 නම් කරන්නේ වාසනාවන්තම අංකය ලෙසිනි. මේ විජේසුන්දර මුලකුරු උගත්තේ මාලගම්මන සිරිවර්ධනාරාමයේ වැඩ විසූ චන්දජෝති මාහිමිපාණන් වෙතිනි. එය විටෙක සසර පුරුද්දට ආ දෙයක් මෙනි.

‘අම්මේ මම දවසක මහණ වෙනවා.’ වචනයේ පරිසමාප්ත අයුරින්ම ගුණවත් චරිතයක් වූ ගුණවතී මෑණියන්ට පුංචි විජේසුන්දර දරුවා කීවේය. මයෙ පුතාට තුනුරුවන්ගෙ සරණයි. ගුණවතී මාතාව කීවේ එපමණක්මය. ලංගමයේ රියැදුරකු ලෙස කටයුතු කළ ඩේවිඩ් පියාණෝ කිසිවෙකුගේ සතයකට තඹයකට හෝ වංචා නොකළ කිසිදු ලාභ සත්කාරයක් උදෙසා කටයුතු කළ චරිතයක් නොවීය.

‘අපේ තාත්තා හරිම ගරු ගාම්භීර චරිතයක්.’ විජේසුන්දර සහතික වෙයි.

ලොකු පවුලක් වූ සහෝදර කැල සමග හැදී වැඩුණු ඔහුගේ ළමා විය ගැන සිහිපත් කළේ මෙලෙසිනි.

‘ගමයි – පන්සලයි වැවයි – දාගැබයි යන සංකල්පයට අපේ ගම බෙහෙවින් සැසඳුණා. වැව් නොතිබිණිද, එය අපූරු සුන්දර ගමක්. ගමේ විසූ සියලු දෙනා අතර තිබුණේ එකම පවුලක් මෙන් වූ බැඳීමක්. වැඩිහිටියන්ට කවුරුවත් නම කියා ආමන්ත්‍රණය කෙළේ නැහැ. නැන්දා-මාමා, සීයා-ආච්චි, අක්කා-අයියා ඒ විදියට ආමන්ත්‍රණය කළේ බොහෝම ළෙංගතුවයි.

අපට ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිට්ටනි තිබුණෙ නැහැ. ගුඩු කෙළියේ දිව පැන සෙල්ලම් කළේ ගහ කොළ මල් පිරි තුරු හෙවණැල්ලේ.

ලොකු පවුලක් වුවද වත්කම් හිමි නොවුව ද විජේසුන්දර ඇතුළු අනෙකුත් සහෝදර සහෝදරියන් අතර සමගිය පිරී තිබිණි. ලද දෙයින් සතුටු වීම හැර ඔවුහු ඉන් එහා කිසිවක් බලාපොරොත්තු නොවූ ගැමියෝ වූහ.
අපේ ගමේ අපි ඔක්කොම එක හා සම වුණා. ගමේ කාටත් තිබුණේ එක හා සමාන වත්කම්. විදුලිය තිබුණේ නැහැ. ලාම්පු එළිය තමයි ගෙදරට ආලෝකය ගෙනාවේ. චිමිනි ලාම්පු තිබුණු ගෙවල්වල උදවියට අනෙක් අයට වඩා වැඩි වත් පොහොසත්කමක් තිබුණා. පෙට්‍රල් ලාම්පුව ගමේ ගෙදරක පත්තු කළේ උත්සවයක් තිබුණු දවසකදීයි. පියා විතරක් රස්සාව කළ නිසා අපේ ඇඳුමේ පැලඳුමේ සිට භෞතික සම්පත් සියල්ල ඉතා අල්ප වුණා. කොස්, දෙල්, අල, බතල, පලා වර්ග අපේ ප්‍රධාන ආහාර පාන වුණා. මාළු කියලා අපි කිව්වෙත් ඒ ව්‍යංජනවලටයි. හැබැයි කවදාවත් අපෙ අම්මා අපිව බඩගින්නෙ තිබ්බෙ නැහැ.

වස විස නැති පරිසරයකදී ඔහු හැදී වැඩුණේ එලෙසිනි. ස්වකීය ජීවිතයේ පළමුව ශිල්ප හැදෑරීමට ගියේ නුගවෙල ප්‍රාථමික විද්‍යාලය වෙතය. ප්‍රාථමික විභාගය හොඳින් සමත් වූ නිසා ඉනික්බිතිව නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විණි. කෙසේ වෙතත් ඔහු ඉගෙනීමට අති විශේෂ දක්ෂතා නොපෙන් වූ සාමාන්‍ය චරිතයක් විය. ගුරු ගෞරවය ඉහළින් දරාගෙන හැදිච්චකම, නිවිච්චකම ඇතිව පාසල් සමය ගත කළ බව හේ කියයි. එවකට ඔහු සමග අධ්‍යාපනය කළ අනෙකුත් සිසු සිසුවියන්ගේ අරමුණ වී තිබුණේ විද්‍යා හෝ කලා අංශයෙන් ඉහළට යාම. නමුත් ඔහුගේ කැමැත්ත තිබුණේ වාණිජ අංශය වෙතය. දෛවෝපගත සිදුවීමකට මෙන් වාණිජ අංශයට පසු කලෙක ප්‍රවේශ වීම නිසා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය එය ප්‍රධාන හේතුවක් විනැයි ඔහුගේ අදහසය.

‘වෙ​ෙළඳාම සහ ව්‍යාපාර ගැන මට මූලික දැනුම ලැබුණේ වාණිජ විෂය එදා මා තෝරා ගත් නිසයි.’ සාමාන්‍ය පෙළට එසේ වාණිජ විෂය තෝරා ගෙන තිබුණ ද ප්‍රථම වතාවේ සාමාන්‍ය පෙළට ලියා අවසන් වූ පසු ජයසුන්දර වහාම කො​ෙළාම්පුරය බලා පිටත්ව ගියේය. එවකට ඔහුගේ අයියා පදික වේදිකාවේ වෙ​ෙළදාමක් අරඹා තිබිණි. ගෙදර ආර්ථික ප්‍රශ්නත් ඇතිව තිබූ හෙයින් අයියාට උදව් දී ගෙදරට සහයෝගයක් වීම හිත අස්සේ තිබුණු අරමුණ විය. ඔහු මොන තරම් නම් දැක්මක් තිබූ චරිතයක් වීද යත් පාරේ තට්ටුවක පුංචි ව්‍යාපාරයක් කරගෙන ගිය අයියාගේ ව්‍යාපාරය නුගේගොඩ කඩ සාප්පුවක් දක්වා දියුණු කරවීමට හේ සමත්විණි. එලෙසින් අයියාගේ ව්‍යාපාරයට මහා ශක්තියක් වී සිටි ඔහු පැදුරටත් නොකියා ආපසු ගම් රට බලා පිටත්ව ගියේය.

‘එදා අයියාට කිය කියා හිටියා නම් මට යන්න වෙන්නෙ නැහැ. මම ගමට ගියේ නැවතත් සාමාන්‍ය පෙළට ලිවීමටයි. එවර ඉතා හොඳින් සමත් වුණා. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ මට තිබුණේ හොඳ පිළිගැනීමක්. ඒ නිසා මම මගේ උසස් පෙළ ගමන පටන් ගත්තේ එතැනින්.’

උසස් පෙළට ලියා විෂයයන් දෙකක් පමණ සමත් වූ පසු ජයසුන්දර නැවත කොළඹ ආයේය.

‘මේ ව්‍යාපාරය මට කරගෙන යන්න බැහැ. වහාම එන්න.’ අයියාගෙන් ලද ටෙලිග්‍රෑම් එකට අනුව ක්‍රියාත්මක වූ ඔහු මේ දෙවැනි ගමන අරඹන්නේ තමාගේ අනාගත ජීවිතයේ අරුණාලෝකය කරා යන ගමන යැයි දැන නොසිටය.

තමාගේ යාළු මිත්‍රයින් උසස් පෙළ සමත්ව සරසවි පිවිසුම් ලබද්දී ජයසුන්දරට තමා අපේක්ෂා කළ ඒ අරමුණ කරා යාමට නොහැකි වීම ගෙන දුන්නේ ලොකු කනගාටුවකි. නමුත් ජයසුන්දරගේ සරසවිය වූයේ ඔහුගේ දැක්මම විය. සරසවි ගොස් උපාධි දෙක තුන ලබන චරිතයකට පවා කළ නොහැකි වූ විප්ලවය ඔහු කළේය. නුගේගොඩ අයියා සතු වූ කඩ සාප්පුව තවත් සාප්පු තුනක් දක්වා වර්ධනය කිරීමට ඔහු සමත් විණි. විජය සාරි සෙන්ටර් එහි තෙවැන්න විය. දෙවැනි අයියා සතුව රත්න ටෙක්ස්ටයිල් මහරගම සාප්පුව ද තිබිණි. මේවායෙහි කළමනාකරණ කටයුතු සඳහා ඔහු මූලිකත්වය දුන්න ද ඔහුගේ පළමු කැමැත්ත තිබුණේ 77 දී විවෘත කළ විජය සාරි සෙන්ටර් වෙතය. ඉනික්බිතිව තමාගේම ව්‍යාපාරික ගමනේ ඇරඹුම සනිටුහන් කිරීමට ඔහු සමත් විණි.

‘එදා නුගේගොඩ මහ වෙළෙඳ සංකීර්ණයේ කඩයකින් අපි පටන් ගත්තෙ. සේවකයින් හිටියෙ තුන් දෙනයි. ඒ කඩ කාමරයේ අංකය හත. මගේ ජීවන අංකයත් හත, ව්‍යාපාරික ලෝකයේ දෛවය ලියැවී තිබෙන්න ඇත්තේ එතැනින් වෙන්න ඇති.’

ජයසුන්දර ඒ අතීතය නැවත ගෙන හැර පෑවේය. විවෘත ආර්ථිකය විවර වීමත් නිසා අලුත් අලුත් බොහෝ දේ කිරීමේ හැකියාව ඔහු සතු විණි. මුලින්ම පිටකොටුවෙන් සාරි ගෙනැල්ලා විකිණීමට සැලැස් වූ සාප්පුව පසුව සුවඳ විලවුන් ඇතුළු විලාසිතා ලෝකයේ බොහෝ දේ සමඟ පුළුල් විණි. පුංචි ප්‍රාග්ධනය ඔහු ව්‍යාපාර ගංගාවක් බවට පරිවර්තනය කෙළේ ඔහු සතු වූ දැක්ම නිසාමය.

දිනෙන් දින ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්කර ගෙන සිටි ඔහු යුග දිවියට එළැඹුණේ 1982 දීය. එසේ 82 දී විවාහ දිවියට පත් තමා දිගින් දිගටම ගත කළේ කුලී නිවාසවල යැයි නිහතමානීව ප්‍රකාශ කරයි. එ් හැරත් ව්‍යාපාර ​ලෝකයේ මුදල් තමා කිසි විටෙකත් තමාගේ පුද්ගලික ධනය ලෙස සිතා පොදි ගසා නොගත් බවත් සඳහන් කරයි. ඒවා ව්‍යාපාර සඳහාම යෙද වූ නිසා විජය සාරි සෙන්ටර්, නුගේගොඩ නගරය ආක්‍රමණය කෙළේ විජය සාරි මන්දිරය නමිනි. ඊටත් එහා ගිය දියුණුවකට විජය ඔක්ෂන් හවුස් පරිවර්තනය විණි.

ඉතා සහනදායි මිලට වෙ​ෙළඳාම කිරීම ඊට හේතුවම විය. විජය ඔක්ෂන් සෙන්ටර් වෙතින් ඉතිරිවන රෙදි කොටස් උපයෝගී කරගෙන විලාසිතා නිර්මාණය ඊළඟට ඇරඹුණේ මැෂින් 15 ක් පමණ යොදාගෙන පටන් ගත් CIB ගාමන්ට්ස් වෙතිනි. අද සමස්ත දිවයින පුරා ශාඛා ලෙස ව්‍යාප්ත වී ඇති CIB ඇරඹුම එලෙසින් සනිටුහන් වූවේ 92 වසරේදීය.

මැෂින් 15 ක් සමග පටන් ගැනීමට පෙර ගෙදරදීම එය පටන් ගත්තෙ පරණ මැෂින් 5 ක් විතර යොදාගෙන. පසුව පුළුල් කෙළේ ඒ ව්‍යාපෘතියයි. ඔහු කියයි. ‘‘එතකොට CIB යනුවෙන් යෙදුවේ’’ අපි විමසීමු.
ඒ දරුවන් තිදෙනාගේ (ඒ වන විට දරු තිදෙනෙක් ඉපදී සිටියා) මුලකුරු අරගෙන තමයි ‘සී.අයි.බී.’ නම යොදා ගත්තෙ.

සී.අයි.බී. ලෙස එලෙසින් පටන් ගත් ඒ ගමන දිනෙන් දින ප්‍රචලිත වුවද ඔහුගේ ඇඟලුම් රැගෙන ගිය ව්‍යාපාරිකයින් ලබා දුන් චෙක් ‘රිටර්න්’ විය. ඒ කිසිවක් නිසා ජයසුන්දර කම්පා නොවීය. පිට පළාත්වලට ගොසින් CIB ජංගම සේවය පැවැත්වීමට ඔහු කටයුතු යෙදීය. එලෙසින් ‘පොළ’ සංස්කෘතියේ ගමන ගමින් ගමට ගෙන ගිය අතර ඒ සංකල්පය වඩා ප්‍රකට වීමත් සමග නුගේගොඩින් පිට ප්‍රථම සාප්පුව ලෙස රත්නපුරයේදී ව්‍යාපාර සාප්පුව ආරම්භ කෙරිණි. එතැන් සිට මාත​ෙල්, කුලියාපිටිය, හලාවත ඇතුළු රටේ ප්‍රධාන නගර ආක්‍රමණය කරමින් CIB ලකුණ ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගලේ කෙටූ ලකුණක් මෙන් සනිටුහන් වී ව්‍යාප්ත විණි.
ගමට අසීමිත ආදරයක් ඇති මේ ගමේ මිනිසා මැවූ මේ අරුමැසි කතාන්දරයේ ආයතනයක් මාපාමඩුල්ල තමාගේ නිජ භූමියේදී ස්ථාපිත කිරීමට ද වගා බලා ගත්තේය.

විජේසුන්දර මෙලෙසින් විජය දද නංවමින් නැගී සිටීමේ රහස කුමක්ද?

ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා අපේ පියාණන් නිතර කියූ දෙයක්. වැරදි වැඩට උපරිම දඬුවම් දුන් කෙනෙක් එතුමා. ඒ නිසා කිසි දිනෙක වැරදි වැඩ නොකිරීමට මා වග බලා ගත්තා. මෙත්තා මුදිතා කරුණා ගුණය මට ලැබුණෙ මවගෙන්. ඒ වගේම ලද දේ මම සමාජයට මුදා හැරීම මිසක මා සන්තකයේ තබා ගත්තේ නැහැ. හැදිච්චකම සහ නිවිච්චකම තමයි මට ලැබී තිබුණු ලොකුම දායාදය. ඒවාට සාපේක්ෂව මානව සංවර්ධනය සමග භෞතික වර්ධනය වෙනුවෙන් කටයුතු කරන අතරේ බෞද්ධ දර්ශනය මගේ ආත්මය පුරා බැඳී තිබීම මට ආශිර්වාදයක් වුණා.

‘මිනිසා හදා රට හදන්න.’ අති පූජ්‍ය මඬිහේ පඤ්ඤාසීහ හිමි මට දුන් ඔවදන් මා පිළිගත්තේ අපරිමිත භක්තියෙන්.

එසේ ස්වකීය ආත්මීය ප්‍රකාශනය දිගහරින විජයසුන්දර යනු බොහෝ බුද්ධ පුත්‍රයින්ගේ ඇසුර නිරන්තරයෙන් ලබන ව්‍යාපාරිකයකු විය. දහමට ළැදි සේම දහමේ ඇති අරුත අනුව ප්‍රායෝගික වීමට ද ඔහු වග බලා ගත්තේය. පස් පව්වලින් වැළකී කටයුතු කිරීම ඒකායන අරමුණ වී තිබේ. මෙම සීඅයිබී ව්‍යාපාර ජාලයෙහි දවසේ කටයුතු ඇරඹෙන්නේ ආගමික වතාවත්වලින් අනතුරුවය. තෙරුවන් නැමදීම, ධම්ම චින්තාව, එදිනට නියමිත වූ සේවක සේවිකාව විසින් පවත්වනු ලබන කතාව, මව්පියන්ට පින්දීම, දෙවියන්ට පින් දීම මේ සියල්ල එකී වතාවත්වලට අයත් වේ. ඉනික්බිතිව විජය ප්‍රතිඥාව, විජය ගීතය ගැයීමෙන් අනතුරුව විජය සමූහයේ කටයුතු ඇරඹේ.
භෞතික සම්පත දියුණු කිරීම මෙන්ම මානව සම්පත නගාසිටුවීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වී තිබේ. සේවක සුබසාධක ක්‍රියාවලිය මෙන්ම මරණයට, මඟුලට ආදී සියල්ල වෙනුවෙන් ද සුබසාධනය මඟින් ණය ලබාදීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ.

විශ්වාස කරන්න මේ සමූහයේ සේවය කරන කිසිවෙක් සේවය අතැර ගිහින් නැහැ. එදා වසර හතළිහකට පෙරදී ආරම්භ කළ මොහොතේ සිට අප සමග සිටි වසර 38 ක ඉතිහාසයක් ඇති සේවක චරිතයේ සිට දීර්ඝව කටයුතු කරන තවත් බොහෝ දෙනා මෙම ව්‍යාපාර ජාලය සතුයි. ඔවුන් මෙය හැර නොයන්නේ අසීමිතව ඊට ආදරය කරන නිසයි.

එලෙසින් පවසන මෙම ව්‍යාපාර ජාලයේ නියමුවා වන විජේසුන්දර යනු සුරාමේරයෙන් තොර සූදුවෙන් තොරව සහ පස්පව්වලින් මිදී කටයුතු කරන නූතනයේදී අපට හමුවන අපූරු ව්‍යාපාරිකයෙකි.

‘ආශාවන් පසුපස යන තරමට අපේ සංසාර ගමන දික්වෙනවා.’ එලෙසින් අදහස් කරන නිසාම ඔහු දනට පිනට බෙහෙවින්ම හුරු වූ චරිතයක් වන්නේය. රටේ විවිධ පුණ්‍යායතන ඇතුළු බොහෝ දේ වෙනුවෙන් දැනට වැය කරන මුදල් ඉතා විශාලය.

හරිහම්බ කරන මුදල් ඔහු පරිහරණය කරන්නේ එලෙසිනි. ජීවිතයේ සතුට ඇත්තේ අත්හැරීම තුළ යැයි ඔහු තදින්ම විශ්වාස කරයි. සමාජ සුබසාධනය සඳහා තම ව්‍යාපාර ජාලයටත් වඩා අපරිමිත සේවාවන් කර ඇති මේ මහා මිනිසාගේ සංකල්පයෙන් බිහිකළ විජය සදහම් සෙවණ ගැන සඳහන් කළ යුතුමය.

මහනුවර ඉදිකළ ඒ සඳහා අක්කර 18 ක භූමියක් වෙන් වී ඇත.

‘මහත්මයා අපි අපේ ව්‍යාපාරය ජනගත කළේ ගුණාත්මක දේ සාධාරණ මිලට අලෙවි කිරීම නිසයි. ඒ නිසා අපට ජනතා ගෞරවය ලැබී තිබෙනවා. මුළු ව්‍යාපාර ජාලයේ නියැළී සිටින තුන්දහසකට එහා ගිය සේවක සේවිකා පිරිසක් විශේෂිත මානුෂීය ගුණාංගවලින් හෙබි පිරිසක්. ‘මිනිසා හදා රට හදන්න’ කියන අපේ මහා නාහිමියන්ගේ උතුම් වචනය තමයි මා ප්‍රායෝගික කළේ.

මෙවර පැවැත්වූ ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී රෙදි පිළි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ජනප්‍රියම නාමය ලෙස සම්මාන ලැබුවේ විජේසුන්දරගේ නායකත්වය ඇති මෙම CIB සමූහ ව්‍යාපාරය වෙතය. මෙලෙසින් එදා සිට ලද සම්මාන බහුමාන, ගෞරව ගොන්නකි. ඔහුගේ නාමයට ඉදිරියෙන්. දේශබන්දු, දේශශක්ති, දේශ කීර්ති, දේශමාන්‍ය වණික්පති, ධර්ම ශ්‍රී, ලංකාපුත්‍ර, සාම ශ්‍රී විජය කීර්ති, ජීවන ශූරී, ශාසනාභිමානී, ශ්‍රී ලංකා තිලක යන ගෞරව නාමයන්ද ඇතුළත්ය.

දිනකට ඔහු නින්ද ලබන්නේ පැය හයක් පමණි. දවසම ක්‍රියාශීලිව ගත කරන්නේ ව්‍යාපාරයේ කටයුතු ගැන සොයා බැලීමටත් වඩා දනට පිනට කිරීමට ඇති දේ වෙනුවෙන් මුල්තැන දීම සඳහාය.

‘වින්දනය කියන්නෙ තාවකාලික දෙයක්.’ යනුවෙන් ඔහු හඟියි.

මෙම අපූරු සත්ගුණවත් ව්‍යාපාරික චරිතය වෙතින් ව්‍යාපාර පටන් ගැනීමට සහ පටන් ගත් ව්‍යාපාර කරගෙන යන බොහෝ දෙනාට ගත හැකි ආදර්ශ බොහෝය. පුතුන් තිදෙනෙකුගේ සහ දියණියන් දෙදෙනකුගේ පියෙකු වන විජේසුන්දර ඔවුනට කියා දී ඇත්තේද මේ දර්ශනය බව සපථ කරයි. මෙකී සියලු හැඟීම්වලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය ද අපරිමිත යැයි ඔහු කියයි.

‘දුෂ්චරිතයෙන් තොරව, කල්‍යාණ මිතුරු ඇසුර සමග කටයුතු කිරීමෙන් සම්පත් ළඟා කර ගත හැකියි.’ ඔහු තරුණ පරපුරට ලබාදෙන උපදෙස එය වෙයි.

එදා පිටකොටුවෙ තොග කඩයකින් රෙදි යාර 10 ක් බැගින් කපා ගෙන ඇවිත් අලෙවි කළ CIB ආයතනයට අද රෙදි ආනයනය කෙරෙන්නේ නැව් ගණනින් චීනය, තායිලන්තය ඇතුළු තවත් රටවල් වෙතිනි. එක් රැයකින් නොවී එක් දිනකින් නොවී මුහුණ දිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් ආ ගමන නිසා ඔහු මෙලෙස දියුණුවට පත්ව සිටී. නමුදු ඔහු සැබෑ දියුණුව ලෙස සලකනු ලබන්නේ ඉහළ සුඛෝපභෝගී ජීවිතය නොවේ. සියල්ල අත්හරිමින්, දනට පිනට ළැදිව යන ගමනට ඔහු බෙහෙවින්ම ප්‍රිය කරන්නේය.

  • සටහන – සඳුන් ගමගේ / ඉරිදා ලංකාදීප

 

LEAVE A REPLY