රටට නිදහස ලබා ගැනීම උදෙසා උෟව වෙල්ලස්ස නිදහස් කැරැල්ලට සම්බන්ධ වීම හේතුවෙන් ඉංග්‍රීසි පාලකයන්ගේ උදහසට ලක්ව ගැසට් පත්‍රයක් මඟින් රාජද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කළ දේශීය විරුවන් 81 දෙනකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ විශේෂ ගැසට් පත්‍රයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අස්සන් තැබීමේ රාජ්‍ය උත්සවය අද (01දා) පස්වරු 3.45ට ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී පැවැත්වෙයි.

එදා ඓතිහාසික උඩරට ගිවිසුම අස්සන් කළ මඟුල් මඩුවේදී ඉංගී්‍රසීන් විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කර නව ගැසට් පත්‍රයට අස්සන් තබා මේ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුව ප්‍රදේශයේදී උත්සවයක්ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ නිදහස් සටනට එක්වීම හේතුවෙන් ඉංගී්‍රසි ආණ්ඩුව මඟින් ඝාතනය කළ හා රටින් පිටුවහල් කළ විරුවන් 81 දෙනකු මෙලෙස දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් මේ නම් ජනපති උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශය මඟින් පත්කළ විද්වත් කමිටුවක නිර්දේශ මත තෝරාගෙන තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ආචාර්ය රංග කලංසූරිය මහතා සඳහන් කරයි.

උෟව වෙල්ලස්ස පළමු නිදහස් සටනට සම්බන්ධව දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද බව කියන සෙසු පිරිසගේ නම් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඒ සම්බන්ධව තවත් පරීක්‍ෂණ සිදුකළ යුතුව තිබෙන බව විද්වත් කමිටුවේ අදහස බවද ඒ මහතා කීය.
එදා ඉංගී්‍රසීන් විසින් කන්ද උඩරට යටත් කර ගැනීමෙන් පසු 1815 මාර්තු මස 2 වැනි දින ඓතිහාසික උඩරට ගිවිසුම අස්සන් කිරීමෙන් පසු මෙවැනි ඓතිහාසික ලියවිල්ලක් මඟුල් මඩුවේදී අස්සන් තැබෙන්නේ වසර 202කට පසුවීම විශේෂත්වයකි.

උෟව වෙල්ලස්ස නිදහස් සටනට සම්බන්ධ වූ වීර මොනරවිල කැප්පෙටිපොල විරුවා ඇතුළු 19 දෙනකු මෙයට පෙර දේශප්‍රේමීන් ලෙස නම් කළ අතර මෙවර ක්‍රියාත්මක වන්නේ එහි දෙවැනි අදියරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මේ උත්සවය සඳහා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද රජයේ මැති ඇමැතිවරුන් හා අතීත විරුවන්ගේ පවුල් සාමාජිකයන්ද සහභාගිවීමට නියමිතය.
මේ විරු නාම ලේඛනය නිර්දේශ කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශය මඟින් පත් කරන ලද කමිටුවක් මඟිනි.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය අනුර මනතුංග, ආචාර්ය කේ.ඩී. විමලරත්න හා ආචාර්ය ප්‍රදීප් වීරසිංහ යන විද්වතුන් මේ කමිටුවේ සාමාජිකයෝ වූහ.

දේශයේ නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් අරගල කිරීම හේතුවෙන් අධිරාජ්‍යවාදීන් විසින් ගැසට් මඟින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කළ විරුවන් එම අවමන් නාමකරණයෙන් මුදාලීම ජාතික වගකීමක් ලෙස පැවතියද වසර දෙසීයකට (200) ආසන්න කාලයක් පුරාවට එම වගකීම ඉටු කිරීම අතපසුවී තිබුණු බවද ඒ අනුව මේ වසරේ මාර්තු මස 2 දිනට (හෙට) උඩරට ගිවිසුම අස්සන් කිරීමෙන් වර්ෂ 202ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම විරුවන්ට නිසි ගෞරවය පුද කිරීම මේ ජාතික උත්සවයේ අරමුණ බවද උත්සව සංවිධාන කමිටුවේ ප්‍රකාශකයකු ‘මව්බිම’ට පැවැසීය.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා මෙහිදී ආරාධිත දෙසුම පවත්වයි.
මේ ඓතිහාසික අවස්ථාව පස්වරු 4 සිට රූපවාහිනි නාළිකා ඔස්සේ මහජනතාවට දැක බලාගැනීමේ අවස්ථාවද සලසා ඇත.

– උපුටා ගැනීම මව්බිම – 

LEAVE A REPLY