මුදල් කොන්ත්‍රාත් මත පුද්ගලයන්ට පහරදී කපා කොටා තුවාල කිරීම, දේපළ විනාශ කිරීම, කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් යාපනය අර්ධද්වීපයේ ජනතාව භීතියට පත්කරගෙන සිටි තවත් පාතාල කල්ලියක්‌ අවි ආයුධත් සමග යාපනය පොලිසිය මගින් පෙරේදා (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් අවුරුදු 18-25 ත් අතර වයස්‌ සීමාවල පසුවන යාපනය සහ කෝපායි ප්‍රදේශවල පදිංචි ලාබාල තරුණයන් බව පොලිසිය පවසයි.

මොවුන් සතුව තිබී විවිධ අපරාධවලට යොදා ගත් කඩු 4 ක්‌, කෙටේරියක්‌a, පොරවක්‌ සහ යතුරුපැදියක්‌ පොලිසිය මගින් සොයාගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මෙම ළාබාල තරුණයන් දකුණු ඉන්දියාවේ නිෂ්පාදනය කරන ම්ලේච්ඡ දර්ශන ඇතුළත් චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වූ පුද්ගලයන් බවයි. ඔවුන් එම චිත්‍රපට නරඹා ඒවායේ රංගනයේ යෙදෙන මැර කල්ලි අනුකරණය කරමින් යාපනය නගරයේ හැසිරෙන බවද පොලිසිය පවසයි.

මෙම පාතාල කල්ලිය යාපනය නගර මධ්‍යයේදී පුද්ගලයකු කපා කොටා බරපතළ තුවාල කිරීම, මුදල් කොන්ත්‍රාත් මත නිවාස රැසකට පහරදී විනාශ කිරීම බස්‌ රථවලට පහරදීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස්‌ පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

යාපනය පොලිසිය සහ කෝපායි පොලිසිය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙම පාතාල කල්ලිය කොටුකර ගැනීමට හැකි විය.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති සජීව ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ස්‌ටැනිස්‌ ලෝස්‌, සහකාර පොලිස්‌ අධිකාරි අඹේපිටිය යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත යාපනය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක හේවාවිතාරණ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‌ෂක මුදිත ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

LEAVE A REPLY