ඇළහැරදී අඹන් ගඟේ අමුණක්‌ බැඳ යෝධ ඇළ තනවන වසභ රජු, පළමුවරට අඹන්ගඟේ දියවර රජරටට ගෙනයයි.

ඉන්පසු රජ පැමිණි මහා පරාක්‍රමබාහු රජු අඟමැඬිල්ලෙන් අමුණක්‌ තනවා ආකාශ ගංගාව ඔස්‌සේ පරාක්‍රම සමුද්‍රය පෝෂණය කරවයි.

මහසෙන් හා දෙවැනි අග්‍රබෝධි රජවරුන්ද රජ පැමිණි කල යෝධ ඇලේ දියවර ගෙන ගොස්‌ මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල හා කන්තලේ වැව් පෝෂණය කළද යළිත් සෘජුවම අඹන් ගංගාව හරස්‌ කර ජලාශයක්‌ තනවා නුවරකලාවිය සහ පුලතිසිපුරවරයට තෙවැනි වර ජලය ගෙන යැමේ ගෞරවය හිමිකර ගන්නේ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.

දශක හතරකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ සැලසුම් කර විවිධ ආණ්‌ඩු යටතේ කතාවට ලඝූ වී ඉහළ-පහළ ගිය “මොරගහකන්ද” ජලාශය දැන් අඹන්ගඟ හරහා වේලි බඳවා ජලය පුරවා වැඩ නිමා වීමේ අදියරට පැමිණ තිබේ. ඉකුත්දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංකේතාත්මකව ජලාශයේ දොරටු වසා මංගල දියවර මුදාහැරීමෙන් පසු දැන් “මොරගහකන්ද” ජලාශයේ ජලය පිරවීමේ කටයුතු සිදු කෙරේ.
මෙවර මහ කන්නයේ වර්ෂාව කලට වේලාවට නොලැබී රටම නියං සායෙන් දැවෙද්දී අඹන් ගංගා කොමළිය අපහසුවෙන් මහවැලි ගංගාව දක්‌වා රැගෙන ගිය “සිහින් දියවර” මෙසේ ඇළහැර මොරගහකන්දේදී දොරටු හරස්‌ කර වසා දමා දින දෙක තුනක්‌ යන්නටත් මත්තෙන් මධ්‍යම පළාතටත්, දුම්බර කඳුකරයටත් ධාරානිපාත වර්ෂා ඇද හැලී අඹන් ගංගාවේ දියවර යෝධ ජල කඳන් බවට පත් වෙද්දී මොරගහකන්ද ජලාශයේ ජල මට්‌ටම දවසට – දෙකට අඩියට – දෙකට ඉහළ ගියේ මහා හාස්‌කමකින් මෙනි.

සැබෑය· නොසිතූ වේගයකින් පිරෙන මොරගහකන්ද ජලාශය සතියක්‌ දෙකක්‌ තුළ අඩි 66 ක්‌ පමණ දක්‌වා ජල මට්‌ටම ඉහළ ගොස්‌ පහළ නිම්නයේ කේඩෑරි වී තිබූ අඹන් ගංගාවද, තලාගොඩ ඇළහැර ප්‍රධාන මාර්ගයද යට කරමින් අද තුරුහිස්‌ මුදුනේ නැවුම් පහස ලබන අයුරු. කෝන්ගහවෙල – ඇළහැර නව මහවැලි මාවතේ ගමන් කරන කාහටත් දැකගත හැකිය.

මාතලේ- පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ මායිමේ ඉදි වූ “මොරගහකන්ද” ජලාශය යෝජනා වන්නේ “මහවැලි මහා සැලැස්‌ම” ටත් පෙර සිටය. එතැන් පටන් කඩිනම් මහවැලිය ක්‍රියාත්මක කළ 1979 වර්ෂය දක්‌වා මොරගහකන්ද, ප්‍රධාන ජලාශ පහ තුළ (පංච මහා ජලාශ) පැවැති නමුත් පංචමහා ජලාශ ව්‍යාපෘතියෙන්ද හැලුණු මොරගහකන්ද වෙනුවට හැදුණේ වෙනත් ජලාශ කිහිපයකි.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය එම ප්‍රදේශයේ පවතින පාරිසරික කරුණු සැලකිල්ලට ගෙන ඉදිකිරීම ප්‍රමාද කළ නමුත් හෝ අතහැරීමට සූදානම් වූ නමුත් අඹන් ගංගාව හරස්‌ කිරීමෙන් අක්‌කර අඩි හාරලක්‌ෂයකට වැඩි ජල ධාරිතාවක්‌ රැස්‌ කර එම ජලය පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය හා උතුරු පළාතේ ජල හිඟයෙන් පීඩා විඳින ගොවි ජනතාව වෙත මෙන්ම දරුණු ලෙස වකුගඩු ආබාධයන්ට ලක්‌ව සිටින රජරට වැසියා ඉන් මුදවා ගන්නටත් මේ දියවර යොදා ගැනීමේ හැකියාව දුටු එවකට මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන මහතා එවක මහින්ද රාජපක්‌ෂ රජයේ අවධානය ඒ වෙත යොමු කරවා 2012 වසරේදී මේ මහා ජලාශ කාර්යයට මුල්ගල් තබන ලද්දේය.

මෙම ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ගම්මාන 11 ක්‌ පමණ හා ගිරිතලේ – මින්නේරිය ස්‌වභාව රක්‌ෂිතයේ රූස්‌ස වන වදුලටද, වන සතුන්ටද සෘජු බලපෑම් එල්ල වූ නමුත් ඊට ප්‍රායෝගික විසඳුම් යෝජනා කළ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දශක 5-6 ක්‌ තිස්‌සේ මෙම ප්‍රදේශයේ ජනයාට තිබූ ප්‍රධාන ගැටලුවකට ස්‌ථිර සාර පිළිතුරු ලබා දුන්නේය. ඒ අනිකක්‌ නොව “මොරගහකන්ද හෙට හදනවා, අනිද්දා හදනවා” යෑයි බලයට පත් වන සෑම රජයකින්ම රවටමින් සිටි ප්‍රදේශයේ ගම්මාන 11 කට වැඩි ජනතාවට ස්‌ථිර වචනයක්‌ දීමය. එනම් මොරගහකන්ද ස්‌ථිරව හදනවාද, නැද්ද යන “වැටඋඩ” තීන්දුවට තිත තබමින් “හදනවා” යන තීන්දුව ගැනීමය. මේ අනුව මොරගහකන්දේ ඉදිකිරීම් ආරම්භ වුවද, ඊට ලබාදීමට නියමිතව තිබුණේ දේශීය ප්‍රතිපාදනය. එබැවින් මොරගහකන්ද ඉදිවීම යළිත් සිහිනයක්‌ බවට පත් වෙමින් තිබිණි. ඉබි ගමනෙන් ගිය මොරගහකන්ද- කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය හේතුවෙන් අවතැන් වන ජනයාටද ගැටලු රැසක්‌ මතු වූ අතර, විටින් විට ඔවුන්ගේa උද්ඝෝෂණයන්ටද මුහුණ දීමට රජයට සිදු විය. පාරිසරික ගැටලු හා සමාජ, ආර්ථික ප්‍රශ්න රැසක්‌ මේ තුළ ගැබ්ව පැවතීම හැබෑවක්‌ නමුත්, මොරගහකන්ද ජලාශය තනවා නිම කිරීමම එම ප්‍රශ්නාවලින් කොටසක්‌ හෝ නිමා කිරීමක්‌ විය. එබැවින් අවශ්‍ය වූයේ මෙම ජලාශ ව්‍යාපෘතිය තනා නිම කිරීමය.

ඉන්පසු මොරගහකන්ද සහ කළුගඟ යෝජනා ක්‍රමය චින ඉදිකිරීම් සමාගම් යටතට පැවරිණි. ඒ ඔස්‌සේ ප්‍රතිපාදනද සම්පාදනය විය. මේ අනුව ජනාධිපති ධුරයට පත් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, මොරගහකන්ද- කළුගඟ ජලාශ යෝජනා ක්‍රම කඩිනම් සිදු කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ ඒ භාරදුර කටයුත්ත කඩිනම් කළේය. මේ අනුව ඝන මීටර් මිලියන 570 ක්‌ එනම් අක්‌කර අඩි හාරලක්‌ෂ හතළිස්‌ දහසක්‌ ධාරිතාවය ඇති මොරගහකන්දත්, ඝන මීටර් මිලියන 248 ක්‌, එනම් අක්‌කර අඩි දෙලක්‌ෂ විසිදහසක්‌ වශයෙන් සම්පූර්ණ ධාරිතාවය අක්‌කර අඩි හයලක්‌ෂ හැටදහසක ධාරිතාවයෙන් යුත් ජලාශ ව්‍යාපෘති දෙකම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ජලාශ දෙක යටතේ මෙගා වොට්‌ස්‌ 25 ක ජල විදුලි බලාගාරයක්‌ද ඉදි කෙරේ. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්‌ත්‍රික්‌කවල හෙක්‌ටයාර් 82,000 ක්‌ අස්‌වැද්දේ.

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේලි හා විදුලි බලාගාරයන් ඉදිකිරීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ව්‍යාපෘති අරමුදලෙන් 85% ක්‌ එනම් රුපියල් මිලියන 28952.1 ක්‌ (ඇමෙරිකානු ඩොලර් බිලියන 214.46) යෙදවෙන අතර, දේශීය අරමුදල වශයෙන් 15% ක්‌ එනම් රුපියල් මිලියන 4920.5 ක්‌ (ඇමෙරිකානු ඩොලර් මිලියන 37.85) ක්‌ යෙදවේ. ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු දේශීය ඉංජිනේරුවන්ගේ අධීක්‌ෂණයෙන් චීන ඉදිකිරීම් සමාගමක්‌ වන “සිනොහයිෙඩ්‍රාa කොපරේෂන්” විසින් සිදු කරනු ලබයි.

මේ අතරින් මොරගහකන්ද ජලාශයේ වේල්ල ඉදිකිරීම ඇතුළු කටයුතු දැන් අවසන් අදියරේ පවතී.අඹන් ගංගාව හරස්‌ කරන ප්‍රධාන සැදලි වේල්aලට අමතරව තවත් සැදලි වේල්ලක්‌ තැනෙන අතර, සොරොව් සහිත ප්‍රධාන කාර්ය වේල්ල (උස මීටර් 58 සහ දිගින් මීටර් 375) මඟින් දියවර උතුරු ප්‍රදේශයට නිකුත් කිරීම පාලනය කෙරේ. මෙකී ජලාශ වේලි අතරින් අඹන් ගංගාව හරහා ඉදිවන ප්‍රධාන ගල් පිරවූ වේල්ල සහ පස්‌වලින් සැදුම්ලත් සැදලි වේල්ල දැන් තනා සම්පූර්ණයෙන්ම නිමා කර ඇත. සොරොව් සහිත කොන්ක්‍රීට්‌ වේල්ලේ කටයුතු තවදුරටත් සිදු කරන අතර, එහි මුහුදු මට්‌ටමේ සිට උස මීටර් 186 කි. ගඟ පතුල මුහුදු මට්‌ටමේ සිට උස මීටර් 138 කින් පවතී. මේ අනුව සොරොව් වසා ඉතා කෙටි කලකදී මේ වන විට මීටර් (මුහුදු මට්‌ටමේ සිට) 158.7 ක්‌ ජල ධාරිතාව වාර්තා කරන අතර, එය අක්‌කර අඩි 55,000 ක ධාරිතාවකි. ජලාශය ඉතාමත් කෙටි කලකදී මෙසේ පිරෙන්නට හේතුව මධ්‍යම පළාතට එනම්, මධ්‍යම කඳුකරයේ උතුරු ප්‍රදේශවලට හා දුම්බර කඳුකරයට ලැබෙන ධාරානිපාත වර්ෂාව නිසාය. මේ අනුව ඉතා කෙටි කලක්‌ තුළ මෙතරම් ජල ධාරිතාවක්‌ පිරුණු ජලාශය ලෙසද මොරගහකන්ද ඉතිහාසයට එක්‌ වේ. මෙම වේගවත්කම කොතෙක්‌ද යත් තවමත් වන්දි නොගෙන සිටි කඹරව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්‌ද ජලයට කොටු වූ අතර, ඔවුන් බේරා ගන්නා ලද්දේ බෝට්‌ටු ආධාරයෙනි.

එසේම ගිරිතලේ- මින්නේරිය ස්‌වභාව රක්‌ෂිතයට අයත් මෙසේ ජලාශයට යටවන ප්‍රදේශයේ පවතින වනාත්තර කලාපයේ වන සතුන් විශාල පිරිසක්‌ කොටු වී සිටින අතර, ඔවුන් බේරා ගැනීමටද දැවැන්ත මෙහෙයුමක්‌ සිදු කිරීමට වන ජීවී අංශවලට සිදුව තිබේ.

කෙසේ හෝ මොරගහකන්ද ව්‍යාපෘතිය මේ වසරේ (2017) ජුනි මාසය වන විට අවසන් වීමට නියමිතව ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 252.03 ක්‌ හෙවත් රුපියල් මිලියන 32800 ක්‌ වැය කර තනන මොරගහකන්ද ජලාශය ඉදි වූ පසු උතුරුමැද පළාතේ සහ උතුරු පළාත තුළද ජල හිඟයට සුවිශාල අස්‌වැසිල්ලක්‌ වනු ඇත. මේ හා සම්බන්ධව ක්‍රියාවට නැඟෙන කළුගඟ ජලාශ ව්‍යාපෘතිය නිම වීමට නියමිතව ඇත්තේ 2018 වසරේදීය. මෙම ජලාශ දෙකත් සමඟ නව පාරිසරික සංචාරක කලාපයක්‌ද එහි බිහි වන අතර, පවතින කෘෂි, පාරිසරික හා සමාජියික තත්ත්වයද සුවිසල් වෙනසකට භාජනය වනු ඇත.

විශේෂ ස්‌තුතිය- තොරතුරු ලබාදුන් මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතාට

සටහන හා ඡායාරූප – ජගත් කණහැරආරච්චි

LEAVE A REPLY