විනයක්, නීතියක් නැති කිසිම රටක් සංවර්ධනය වී නොමැති බවත්, මේ රට හදන්නට නම් පහළ සිට ඉහළට නොව ඉහළ සිට පහළට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ‍ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 700ක වියදමින් ගම්පොළ ශික්ෂණ රෝහලට අවශ්‍ය හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබීම, ශල්‍ය වාට්ටු, ශල්‍යාගාරය හා දැඩි සත්කාර ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල් තැබීම සහ වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ ඒකකයක් ආදිය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතාගේ මැදිහත්වීම මත මේ කටයුතු සිදු විය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“මේ රටේ වසරකට හදිසි අනතුරුවලින් පමණක් විසිපන්දහසක් මිය යනවා. එවගේම හතළිස් පන්දහසක් ආබාධිත වෙනවා. එම නිසා මොන බස් සංගම් විරුද්ධ වුණත් පාර පැනීම සිට මිනී මැරීම දක්වා නීතිය, නීතිය ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

අද මේ රටේ යහපාලන රජය සෞඛ්‍ය අංශයට කෝටි ප්‍රකෝටි ගණන් වැය කර තිබෙනවා. නමුත් ඡන්දවල දී කතා කරන්නේ පොල් ගෙඩියේ ගාන කීයද කියලා. එතැනින් තමයි ඡන්දය කොයි පැත්තටද දෙන්නේ කියා තීන්දු කරන‍්නේ. මේ විදිහට අපට රට වෙනස් කරන්න අවශ්‍ය එක සටන් පාඨයයි. අපි හෘද රෝගීන් බේරාගැනීමට කෝටි ගණන් වැය කර නව වැඩ පිළිවෙළ සකසා තිබෙනවා. ඉතිං එතැන දී ස්ටෙන්ට් එක දාපු රෝගීනුත් ඡන්දය දෙන්න ඇත්තේ පොහොට්ටුවට. පපුවේ ස්ටෙන්ට් එක යහපාලනයේ. ඡන්දය පොහොට්ටුවට. එහෙම තමයි අපේ රටේ දේශපාලනය හැඩගැහිලා තියෙන්නේ.

සෞඛ්‍ය අංශයේ ගුණාත්මකභාවය දියුණු කරමින් පැවතුණත් විසඳා ගන්න බැරි ප්‍රශ්නය තමයි කාර්ය මණ්ඩල ගැටලුව. මේ වන විට හෙද කාර්ය මණ්ඩල‍යේ 7000ක අඩුවක් තිබෙනවා. හෙද කාර්ය මණ්ඩලය 38,000ක් සිටිය යුතු වුවත් ඉන්නේ 31,000යි. ඉදිරියේ දී පවතින විශේෂඥ වෛද්‍ය ගැටලුව හා හෙද ප්‍රශ්නය සමඟ සියලු කාර්ය මණ්ඩල සම්පූර්ණ කරගැනීමට නව වැඩ පිළිවෙළක් සකස් කොට තිබෙනවා. එවගේම පිරිසුදු කිරීමේ (ලොන්ඩ්‍රි) පහසුකම් වැඩිදියුණු කරන්න කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලොන්ඩ්‍රි කටයුතු අලුතෙන්ම පිටරට සමාගමකට දෙනවා. ඒ අය වසර 15ක් යනතුරු ඒ දේ කරලා අපට ඒ උපකරණ අලුත් කර භාර දෙන ගිවිසුමක් ඇති කර තිබෙනවා. දැන් ඒකටත් විරුද්ධව නොයෙක් දේ කියන්න පටන් අරන්. මේකට ඉක්ටා කියනවා. තව ‍නොයෙක් දේ කියනවා. මේ විදිහට ගිලන් රථ ගේන විටත් වෛද්‍ය සංගම් කීවා, ඒවාට ගල් ගහන්න කියලා. ඒ වුණාට දැන් බලන්න මේ රටේ මිනිසුන්ට ඒකෙන් කොච්චර සේවයක් සැලසෙනවා ද කියලා. පසුගිය කාලයේ මේ රටේ නිදහස් සෞඛ්‍ය තිබුණේ නෑ. මුදල් තිබුණු අයට ජීවිතය බේරාගන්න පුළුවන් ක්‍රමයක් විතරයි තිබුණේ. අද අපි ඒ තත්ත්වය නැති කරමින් යනවා.”

හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, මහවැලි හා පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ලංකා ජයරත්න, ගම්පොළ එජාප සංවිධායක සමන්ත අරුණ කුමාර මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක හේරත්, මහනුවර එජාප සංවිධායක අසේල අමරංතන, උඩපළාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැපයීම්) ගුණවර්ධන, මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් නිමල් බාලසූරිය, මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති බන්දුල යාලේගම, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY