පසුගිය පොහොර සහනාධාර ලබාදීමේදී නියම වේලාවට තොරතුරු ලබා නොදුන් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට උපදෙස් ලබාදුන්නේ තමන් බවත් රාජකාරිය නිසි ලෙස ඉටුකරන පුද්ගලයන්ව තමා ආරක්ෂා කරන අතරම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවත් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ “තිරසාර සංවර්ධන ඉලක්ක එක්ව ජයගනිමු” යන තේමාවෙන් මාතර දිස්ත්‍රික් ගොවිජන සේවා නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන අමතමිනි.

එහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.

අප මේ සූදානම් වෙන්නේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගන්නයි. එම ඉලක්ක අතරින් පළමුවැනි ඉලක්කය “සැමට ආහාර” ගෙවතු වගා හදන්න කියද්දි මම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් බැනුම් ඇහුවා. ගම්‍ෙදාර වැඩ සටහනේදීත් එහෙමමයි.
මෙම නිලධාරීන් තමන්ගේ වටිනාකම තේරුම් අරන් නැහැ. ඔවුන්ගේ තනතුර 1995දී ඇති කළේ ගොවියාගේ මිතුරා ලෙසටයි. ගොවිතැනේදී ගමේ කොටස්කාරයා විදියටයි.

තමන්ගේ කොටසේ වපසරිය පිළිබඳව ඔවුන් දැනුවත් වුණත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විදියට නිසි සංඛ්‍යාලේඛන නැහැ. අස්වැන්න කොපමණ ලැබෙනවද? ආදී වශයෙන් නිසි තොරතුරු නැහැ.

ඉදිරියේදී එම නිලධාරීන් ගෙයක් ගෙයක් ගාණේ ගිහින් ගන්න තොරතුරුවලින් අපි ප්‍රයෝජන ගන්නවා. නිලධාරීන්ට ටැබ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අනුව තොරතුරු ජාලගත කොට ක්‍රමවේදයක් හදනවා. නූපන් දරුවන්ටත් ආහාර හිඟයක් ඇති නොවී රටේ ගොවියාත් ආරක්ෂා කරන වැඩපිළිවෙළකටයි අපි යොමුවෙන්නේ. හොඳ දෙයක් කරලා විවේචන අහන්න කැමැති කෙනෙක් මම. ඒ රජවරු 217ක් පාලන කරපු වැඩිම කාලයක් රාජධානිය වුණු අනුරාධපුරයේ ඉපදුණ කෙනෙක් නිසා වෙන්න ඇති.

“සිතමු” කාන්තා ගොවි සමිති 25,000ක් හදා එක් සමිතියකින් ගොවි කාන්තාවන් 20 බැගින් තෝරාගෙන ගෙවතු වගාවට යොමුකළා. අවුරුදු හතරක් තිස්සෙම ඔවුන්ට නොමිලේ බීජ ලබාදුන්නත් ඉන් නිසි ප්‍රයෝජන ලබාගෙන නැහැ. නොමිලේ බීජ දෙන එක විතරක් නෙමෙයි මිනිසුන්ගේ ඔළුත් හදන්න වුවමනායි. තවමත් පරණ විදියට නම් හිතන්නේ අපිට ඉස්සරහට යන්න අමාරුයි.

“සිතමු” කියන්නේ සිංහල, තමිල්, මුස්ලිම් කියන එකයි. ගොවි කාන්තාවන් හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ගෙවත්තේ වගා කරලා වස විසෙන් තොර ආහාර තුළින් දරුවන්ට නිසි පෝෂණයක් ලබාදීමට කාන්තාවන් දැනුවත් කිරීමයි.

රසායනික පොහොර භාවිත කරලා වකුගඩු රෝග හැදිලා මිනිසුන් මැරෙනකොට අපි කාබනික පොහොර නිෂ්පාදනයට යොමුවුණාද..? අපිට ගමක එක කාබනික පොහොර නිෂ්පාදකයෙක්වත් හදාගන්න බැරිවුණා.”

LEAVE A REPLY