‘ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 වැනි දින වන විට වසර 09ක් ගතවී හමාරය. ලැබූ නිදහස භුක්ති විඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් දෙඩීමෙන්වත්, වඩ වඩාත් උදම් ඇනීමෙන්වත් නොවන බව මා තරයේ විශ්වාස කරන අතර, එය සැමරිය යුත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා…දැමීමේදී මියගිය ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් සහ සිවිල් ජනතාව වෙනුවෙන් කෘතගුණ සැලකීමෙන්ය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ පටු අරමුණු සහ පෞද්ගලික න්‍යායපත්‍රයන් සඳහා ශේ්‍රෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතුය. ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් පෙලඹවීම්, අනුබලදීම් නොකළ යුතුය’යැයි මැයි 19 දිනට යෙදී තිබෙන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.
යුද්ධ හමුදාපතිවරයා ජාතික රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් පරිදි වේ.

වර්ෂ 1983දී ඉතා කුඩා කණ්ඩායමක් ලෙස බිහිවූ එල්.ටී.ටී.ඊ. සංවිධානය වර්ෂ 2009 වන විට ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ධනය වී තිබිණි. පාබළ වෙඩි බලය, නාවික බලය සහ යම් ප්‍රමාණයක ගුවන් බලයකින්ද සමන්විත වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය, මරාගෙන මැරෙන සංකල්පය ලොවට හඳුන්වා දුන් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ විය.

ඊළාම් රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර ඩයස්පෝරාවේද සහාය ඇතිව ත්‍රස්තවාදී ක්‍රියාදාමයකට දැඩිව අවතීර්ණව සිටි මෙම එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරමින්, මිනිස් පලිහක් ලෙස භාවිත කළ ලක්‍ෂ සංඛ්‍යාත වූ අහිංසක දමිළ වැසියන් ඉන් මුදා ගැනීමට යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි අප්‍රතිහත කැපවීම, ධෛර්යය සහ මනා සැලසුම් සහගතභාවය හේතු කොටගෙන හැකියාව ලැබිණි. ඒ අනුව ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබූ අන්තිම බිම් අඟලත් වර්ෂ 2009 මැයි මස 19 වැනි දින මුදා ගැනීමත් සමඟම ත්‍රස්තවාදය ලංකාද්වීපයෙන්ම මුලිනුපුටා දමනු ලැබිණි. මේ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේද අනූපමේය වූ දායකත්වය හිමිවූ බව මෙහිදී සිහිපත් කළ යුතුමය.

සියලු ලක්වාසීන් වර්තමානයේ භුක්ති විඳින නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 23,962ක්ද, නාවික හමුදාවේ 1,160ක්ද, ගුවන් හමුදාවේ 443ක්ද වශයෙන් වූ ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර භට පිරිස් විශාල ප්‍රමාණයක් පමණක් නොව ශ්‍රී ලංකා පොලිසියේ 2,568ක පිරිසක් සහ සිවිල් ආරක්‍ෂක බළකායේ 456 සාමාජිකයන් පිරිසක්ද අප මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැද දිවි පුදා ඇත. ඔවුන් සියලු දෙනා අපගේ අද දවස වෙනුවෙන් ඔවුන්ගේ හෙට දවස කැප කරනු ලැබුයේ ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීභාවයත්, භෞමික අඛණ්ඩතාව සහ ඒකීය භාවය සුරක්‍ෂිත කිරීම සඳහාය. එමෙන්ම වසර 30ක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය නිසාවෙන් පීඩාවට ලක්වූ ලක්වැසි ජනතාව විසින් ලබාදුන් සුවිශාල දායකත්වය හා කැපකිරීම මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. එපමණක් නොව දේශපාලන නායකත්වයන් විසින් ඔවුන්ගේ වගකීම නිසි අයුරින් කාලානුරූපීව ඉටු කිරීම තුළින් අද දින ලක්වැසි සැමට නිදහසේ ජීවත්වීමට හැකියාව ලැබී ඇත.

ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 වන විට වසර 09ක් ගතවී හමාරය. ලැබූ නිදහස සැමරිය යුත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේදී මියගිය ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් සහ සිවිල් ජනතාව වෙනුවෙන් කෘතගුණ සැලකීමෙන්ය. යුද්ධ හමුදාව, මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා විශේෂිත වූ වැඩපිළිවෙළක් සකස් කොට ඇත. ඒ අනුව සෑම රෙජිමේන්තු මධ්‍යස්ථානයකදීම මා විසින් නිකුත් කරන ලද විශේෂ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරන අතර, මියගිය සියලුම රණවිරුවන් වෙනුවෙන් ආගමික වතාවත් සිදුකරනු ඇත. තවද ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 19 වැනි දින ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වෙන රණවිරු සැමරුම් උත්සවය සහ එදිනම ඓතිහාසික කැලණිය රජමහ විහාරයේදී පැවැත්වෙන ආලෝක පූජාවටද යුද්ධ හමුදාව සක්‍රියවම දායකත්වය ලබාදෙනු ලබයි.

පුරා තිස් වසරක් මුළුල්ලේ අප සියලු දෙනාගේම අනාගතය නිර්මාණය කරනු පිණිස අභීත රණවිරුවන් රැසක් සිය වටිනා ජීවිත පූජා කරන ලදී. ඔවුන් විසින් එදා සිය අවසන් හුස්ම පොද හිස් වාතලයට මුදාහරින ලද්දේ මේ දිවයිනේ සදාතනික සාමය හා සංහිඳියාව සුරැකේවායි ප්‍රාර්ථනා කරමින්ය. නැවත නැවතත්, උපදින කිසිදු ආත්මයක් ඔවුහු කිසිවිටෙක යළිත් යුද්ධයක්නම් සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවන්නට ඇත.

එපමණක්ද නොව, අභීත රණවිරුවන් වශයෙන් අප යුද හමුදා සාමාජිකයන් සටන් බිමෙහි පෙරමුණ ගන්නා විට නිවෙසේ සිට ඔවුන්ගේ සිතට ගතට නිබඳ සවියක්, ශක්තියක් වූ රණවිරු බිරින්දෑවරුන්, රණවිරු දුවාදරුවන් හා ඔවුන්ගේ ආදරණීය මවුපියන්, ඥාති හිතමිත්‍රාදීන්, අසල්වාසීන් ඇතුළු සියලුම දෙනාගේ කිසිදා මිල කළ නොහැකි අප්‍රතිහත කැපකිරීමද මම මේ මොහොතේ කෘතඥත පූර්වක හදවතින් යුතුව සිහිපත් කරමි.

LEAVE A REPLY