මහණ වෙස් ගත් විෂමාචාර පවිටු පුද්ගලයන් ශාසන විරෝධී ක්‍රියාවන්හි නියැලෙන බව දිගින් දිගටම අනාවරණය වන බැවින් මහා සංඝරත්නය වෙත විධිමත් භික්ෂු හැදුනුම්පතක් නිකුත් කිරීම සදහා කටයුතු කරන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ. වරෙන්තුකරුවන් ඇතුලුව පවිටු පුද්ගලයන් මහණවෙස් ගෙන හැසිරෙන බවත්, එම අයථා ක්‍රියා වැළැක්වීම සදහා මූලික පියවරක් වශයෙන් මහා සංඝරත්නය වෙන් කර හඳුනාගත හැකි විධිමත් හැදුනුම්පතක් නිකුත් කළ යුතුය ඇතැයි උන්වහන්සේ සදහන් කරති.

ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමි, ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නා හිමි, අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පෙමසිරි නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබේ.

මහා නායක හිමිවරුන්ට පමණක් මෙම අභියෝගය සදහා පිළියම් යෙදිය නොහැකි බව සඳුහන් කරන උන්වහන්සේ යොමු කළ ලිපියේ තව දුරටත් මෙසේ ද සඳහන්ය.

දෙවන පෑ තිස් රජ සමයේ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසුව එම ශාසනය නසනු පිණිස මහණ වෙස් ගත් අධර්මවාදීන් වරින් වර බිහිවූ අතර ඒ අවස්ථාවේදී මහා පරාක්‍රමබාහු ආදී රජුන් දුශ්ශිලයන් සසුනින් බැහැර කොට සසුන පිරිසිදු කොට සම්බුදු සසුන බැබළවූහ. කන්ද උඩරට රජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ වැලිවිට අසරණ සරණ සංඝරාජ හිමිගේ මූලිකත්වයෙන් උපසම්පදාව කරවූ අවස්ථාවේ සිට මේ දක්වා ශාසනය තුළ ද අවස්ථා කිහිපයකදී ශාසන විරෝධී පුද්ගලයන් නිර්මාණය වූහ. ඒ දුටු පාලකයන් එය මැඩලා ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකළහ.

දැනට භික්ෂුන් වහන්සේ වෙත නිකුත් කරන හැදුනුම්පත විධිමත් නොවන නිසා සාමනේර භික්ෂූන්, සිල්මාතාවන් සදහා නම, පැවිදිදිවියට පත් පාර්ශවය, ආචාර්යවරයාණන් වහන්සේගේ නම, පැවිදි දිවියට පත් දිනය, උපන් දිනය, ස්ථීර පදිංචිය සහිත විහාරස්ථානයේ ලිපිනය ඇතුලුව කරුණු රැසක් හැදුනුම්පතේ අන්තර්ගත වීම සුදුසු යැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය යොමු කළ ලිපියේ සදහන් වේ.

නදීක දයා බණ්ඩාර

LEAVE A REPLY