පාර්ලිමේන්තුවේ මොන දේශපාලන අර්බුද ඇතිවුණත් තමාගේ වගකීම රජය ශක්‌තිමත් කිරීම යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඊයේ (06 වැනිදා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය,

පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවිධ අදහස්‌ විවිධ මත මේ දිනවල කාගේත් කතාබහට ලක්‌ වී තිබෙනවා. ඒ වගේම බොහෝ පාර්ශ්වවලින් මා ඊට වගඋත්තරකාරයෙක්‌ ලෙස හඳුන්වන්න උත්සාහ ගන්නවා. සමහරු කියනවා මම සහයෝගය දුන්නා කියලා. සමහර අය කියනවා සහයෝගය ලැබුණේ නැහැ කියලා. මේ විදියට විවිධ ප්‍රකාශ තිබෙනවා.

පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේ කොට්‌ඨාස මට්‌ටමින් ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව, මැතිවරණ කොමසාරිස්‌තුමාගේ නිල ප්‍රතිඵලය නිකුත් වීමට පෙර සමහර රාජ්‍ය නොවන පුද්ගලික මාධ්‍ය ආයතන ප්‍රතිඵල නිකුත් කළා. නමුත් සැබෑ ලෙසම මැතිවරණ කොමසාරිස්‌තුමා නිකුත් කළ ප්‍රතිඵල පිළිබඳව කතා කළහොත් මේ ප්‍රතිඵලය පිළිබඳව කවුරුන් කෙසේ විග්‍රහ කළත් මැතිවරණයට ඉදිරිපත් වූ කිසිදු දේශපාලන පක්‌ෂයකට පුළුවන්කමක්‌ ලැබුණේ නැහැ 40% ක්‌ ඡන්ද ලබාගන්න. සමහර අය පෙන්නුවේ ඉතාමත් වැරදි වාර්තා. 40% ක්‌ ලබා ගැනීමට කිසිදු දේශපාලන පක්‌ෂයකට නොහැකි වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ජාතික මැතිවරණ ප්‍රතිඵලයක්‌ සමඟ සංසන්ධනය කරමින් කරන ලද දේශපාලන විග්‍රහ සහ විචාරවලදී එහි සංඛ්‍යාත්මක නිවැරදිභාවයන් පැහැදිලිව පෙන්නුම් කළේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විදියට අපි තරග කළේ ලකුණු 4 කින්. ඒ අත ලකුණ, බුලත්කොළය, අශ්වයා සහ කුකුළා කියන ලකුණුවලින්. ඒ ලකුණු හතරටම සියයට පහළොවකට ආසන්න ගණනක්‌ ඡන්ද ලැබුණා. සමහර අය මේ මැතිවරණයේ ප්‍රතිඵල විග්‍රහ කරන ආකාරය දෙස බැලුවහොත් අපට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තු මැතිවරණයකට අදාළ කර ගනිමින් සංසන්දනය කළ හැකියි. මේ ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ලැබුණේ පාර්ලිමේන්තු ඡන්දයකදී නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට ආසන 30 ක්‌ ලැබිය යුතුයි. ඒ වගේම පොහොට්‌ටු පක්‌ෂයට ලැබෙන්නේ ආසන 102. එමඟින් පෙනී යන කරුණ වන්නේ මේ ලැබී ඇති ඡන්ද ප්‍රතිඵලය මහ මැතිවරණයකදී ලැබුණහොත් කිසිම පක්‌ෂයකට ඒ තුළ තනියම ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නොහැකි වන බවයි.

ඒ සමඟ එක්‌ පැත්තකින් ආණ්‌ඩුවට විරුද්ධ පක්‌ෂය විශාල වශයෙන් ඒ අය ලොකු ජයග්‍රහණයක්‌ පිළිබඳව කතා කළා. ඒ ඇති වූ දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ අයට දැන් ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න පුළුවන් කියලා කියන්න පටන් ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ ආණ්‌ඩුව සමඟ සිටින මන්ත්‍රී කණ්‌ඩායමේ කොටසක්‌ මේ පළාත් පාලන මැතිවරණයට පෙරත් රජයෙන් ඉවත් විය යුතුයි කියන මතය ඉදිරිපත් කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායමේ ආණ්‌ඩුව සමඟ නියෝජනය වෙන්නේ 41 දෙනෙක්‌. මේ ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු කියන පිරිස වැඩි වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඉවත් විය යුතුයි කියලා අදහස්‌ දැක්‌වීමේදී පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව තුළත් පාර්ලිමේන්තු කණ්‌ඩායම තුළත් ඇති වූ සාකච්ඡාවලදී තීරණයක්‌ ගත්තා මේ පළාත් පාලන මැතිවරණය වෙලාවේ යන්න වුවමනාවක්‌ නැහැ. මොකද දෙසැම්බර් 20 වෙන කොටත් මැතිවරණ අවස්‌ථාව එළැඹිලා. ඒ නිසා මැතිවරණයෙන් පසුව තීරණයක්‌ ගත යුතුයි. එතෙක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වීම අවශ්‍ය නැහැ කියලා. මෙහිදී ප්‍රධාන වශයෙන් එක`ගත්වයක්‌ ඇති කර ගත්තා. ඒ අනුව මැතිවරණය අවසන් වෙනකන් සිටිය යුතුයි කියන අදහසට ආවා.

මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව ආණ්‌ඩුවෙන් ඉවත්විය යුතුය යන මතයේ සිටි පිරිසගේ එම ඉල්ලීම වැඩි වුණා. ඒ වගේම මැතිවරණ ප්‍රතිඵල සමඟ අගමැතිතුමාට විරුද්ධව එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරුන්ගෙත් ප්‍රශ්නයක්‌ මතු වුණා. මේ මැතිවරණ පරාජය සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‌ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව පිළිබඳව එක්‌සත් ජාතික පක්‌ෂය තුළත් අර්බුදයක්‌ ඇති වුණා. එතකොට පාර්ලිමේන්තුවේ විපක්‌ෂය විදියට පොහොට්‌ටුව ලකුණ යටතේ අද ඉන්න පාර්ලිමේන්තු කණ්‌ඩායමත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතුයි කියන කණ්‌ඩායමත් ඒ වගේම එක්‌සත් ජාතික පක්‌ෂය තුළ අගමැතිතුමාට විරුද්ධව ඉදිරිපත් වූ කණ්‌ඩායමුත් සියලු දෙනාම එකතු වෙලා තමයි මේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක`ගත්වයකට ආවේ. පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරන එහෙත් විපක්‌ෂයේ සිටින මන්ත්‍රීවරු නිල වශයෙන්ම මාව හමුවෙන්න ලිතව ඉල්ලලා අවස්‌ථා තුනකදී මාව හමු වුණා. ඒ හමුවීම්වලදී ඒ අය කියා සිටියේ අගමැතිවරයෙක්‌ පත්කර ගන්න ඒ අයට පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ පෙන්වන්න පුළුවන් කියලා. ඒ සඳහා ඉඩකඩ දෙන්න කියලා ඉල්ලීම කළේ. එතකොට මම ඒ අයට කියපු දේ තමයි ව්‍යවස්‌ථානුකූලව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක්‌ පෙන්වන්න පුළුවන් පිරිසක්‌ ඉන්නවා නම් වැඩි බලයක්‌ ව්‍යවස්‌ථානුකූලව පෙන්විය යුතුයි. එහෙම පෙන්නුවොත් ජනාධිපතිවරයාට තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් යම් තීරණයකට එළැඹීමයි. එහෙම නැතිව මට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක්‌ නැහැයි කියන එක. ඒ අනුව එහෙම පෙන්වන්න පුළුවන් කියලා මේ පාර්ශ්ව තුනේ අයම සාකච්ඡා කරලා විශ්වාසභංග යෝජනාවකට ගියේ. පසුගියදා ඡන්ද විමසීමෙන් පසුව විශ්වාසභංග යෝජනාව තුළ ඇති වුණු ප්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා විදියට මගේ වගකීමත් මගේ යුතුකමත් වෙන්නේ පාර්ලිමේන්තුවේ මොන විදියේ දේශපාලන ප්‍රශ්න සහ අර්බුද ඇති වුණත් මම රටට වගකිව යුතුයි. ඒ වගකීම ඉටු කිරීමේදී කුමන ආකාරයෙන් හෝ රජය ශක්‌තිමත් කළ යුතුයි.

එහෙම ශක්‌තිමත් කිරීමේදී කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සහාය මම ලබාගන්නවා. රජය දුර්වල වීම නොවේ අවශ්‍ය වන්නේ රජය ශක්‌තිමත් වීම. ඒ වගේම පාර්ලිමේන්තුවේ තිබෙන මන්ත්‍රී ධුරවල ව්‍යqහය අනුව එකතු වීමක්‌ තුළ මිසක්‌ තනියම ආණ්‌ඩුවක්‌ සදන්නට නොහැකි බව මා පෙන්වා දී තිබෙනවා. 2015 සිටම ඒ තත්ත්වයේ තිබෙන්නේ. වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක්‌ තිබෙන එක්‌සත් ජාතික පෙරමුණට තිබෙන්නේ ආසන 106 යි. ඒ ආසන 106 න් ආණ්‌ඩුවක්‌ ගෙනියන්න බැහැ. ඒ අනුව කුමන ආකාරයේ දේශපාලන ප්‍රශ්නයක්‌ මතුවුණත් තනි පක්‌ෂයකට ආණ්‌ඩුවක්‌ කරන්න බැහැ. මේ අවස්‌ථාවේත් පාර්ලිමේන්තුවෙන් කරන මගේ විවෘත ඉල්ලීම තමයි රජය ශක්‌තිමත් කිරීම ස`දහා ඕනෑම කෙනෙක්‌ට රජය සමඟ එකට එකතු වෙන්න පුළුවන් කියන එක. පැමිණෙන පිරිස කවුරු වුණත් ඒ පැමිණෙන පිරිස සමඟ රජය ශක්‌තිමත් කරමින් ඉදිරියට ගෙනියනවා.

රටේ මේ තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන රටේ සංවර්ධනයට ප්‍රමුඛත්වයක්‌ දීම ඉතාම අවශ්‍යයි. පළාත් පාලන මැතිවරණය නිසා බොහෝ වෙලාවට අමාත්‍යාංශවල වැඩ කෙරුණේ නැහැ. මැතිවරණය අවසන් වීමෙන් පසුව මහනුවර සිදු වුණ සිද්ධියත් එක්‌ක, අගමැතිවරයාට ගෙන ආ විශ්වාසභංග යෝජනාවත් සමඟ රට තුළ දේශපාලන නොසන්සුන්තාවක්‌ ඇතිවුණා. ඒ නිසා මේ තත්ත්වයන් තුළ රට තුළ සිදුවිය යුතු සංවර්ධන කටයුතු ඉක්‌මනින් සිදුකිරීම අවශ්‍යයි. මේ තිබෙන දේශපාලන පසුබිම තුළ වුවත් සෑම දිස්‌ත්‍රික්‌කයකම වගේ දිස්‌ත්‍රික්‌ කමිටු රැස්‌වීම් පවත්වා ඒ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම පිළිබ`ද මා සතුටු වෙනවා. දැන් ඒ පැවති නොසන්සුන්තා අවසන්. ඒ නිසා සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරගෙන ඉදිරියට යා යුතුයි. ඒක කාගේත් වගකීමක්‌.

අනෙක්‌ පැත්තෙන් මම ස`දහන් කළ යුතු කාරණයක්‌ තමයි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්‌ එක්‌ දේශපාලන පක්‌ෂ තමන්ට බලය ලබාගැනීම ස`දහා, සභාපතිවරුන් පත්කරගෙන යනවා. ඒ කටයුතු බොහෝ දුරට අදින් අවසන් වෙනවා. මේ මැතිවරණ ක්‍රමයේ තිබෙන දේශපාලන විකෘති භාවයෙන් ජනතාව පත්කළ පිරිස නෙමෙයි සමහර තැන්වල බලයට පත්වෙන්නේ. ඉතිං මේ තත්ත්වය එක්‌ පැත්තකින් ජනමතයට කරන අභියෝගයක්‌. ජනමතය පිළිනොගැනීමක්‌. ඒක හො`ද දෙයක්‌ නෙමේ. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කිරීම අවශ්‍ය වෙනවා. ඒ සංශෝධනය කිරීම තුළින් එක්‌ පැත්තකින් ජයග්‍රහණය කරන ජනතාව ඡන්දය භාවිත කරන දේශපාලන පක්‌ෂයට පමණක්‌ පාලන බලය ලැබෙනවා ඒ සංශෝධනය තුළ. අනෙක්‌ පැත්තෙන් 8,000 කට වැඩි අති විශාල මන්ත්‍රී සංඛ්‍යාවක්‌ ඔරොත්තු දෙන්නේ නැහැ. අනෙක්‌ එක ඒ තුළ ගොඩනැඟෙන අලුත්ම දේශපාලන සංස්‌කෘතිය හො`ද දේශපාලන සංස්‌කෘතියක්‌ කියලා දැනටම පේන්න නැහැ. මේ පත්වුණ සභාපතිවරුන් තේරීමේදී ම මොනතරම් දූෂණ වෙනවාද කියන එක අපිට අනුමාන කළ හැකියි. ඒ නිසා මන්ත්‍රී සංඛ්‍යාව එක්‌ පැත්තකින් අඩු කිරීම ඉතාමත් අවශ්‍යයි. මේ පනත සංශෝධනය කිරීම තුළ මම යෝජනා කරනවා අමාත්‍ය මණ්‌ඩලයට මේ 8,000 අනිවාර්යයෙන්ම 4,000 කට අඩුකරන්න කියලා. ඒක කරන්න වෙන්නේ ඊළ`ග මැතිවරණයේදී. ඒ ස`දහා අපි බලාපොරොත්තු වෙනවා වැඩපිළිවෙලක්‌ සකස්‌ කරන්න.

ඒ වගේම පළාත් පාලන ආයතනවල සංවර්ධනය ස`දහා අවශ්‍ය විධිමත්භාවය, සංවර්ධනයට අදාළ ප්‍රතිපාදන රජයෙන් වෙන් කරමින් ශක්‌තිමත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට වෙසක්‌, පොසොන් පොහෝ දින එළැඹෙනවා. එතකොට මෙවර වෙසක්‌ පොහොය එන්නේ අප්‍රේල් 30. එතකොට අප්‍රේල් 30 ත්, මැයි 06 ත් අතර සතිය සම්පූර්ණයෙන්ම අපි බෞද්ධාගමික කටයුතුවලට මුල් තැන දෙමින් කටයුතු කරන සතියක්‌ බවට රජය නම් කරලා තිබෙනවා. ඒ වගේම පළමු වැනි දිනට යෙදී තිබුණ ලෝක කම්කරු දිනය සමරන රැස්‌වීම් මැයි 07 වැනිදා පවත්වන්න කියලා ඉල්ලා සිටිනවා. එදින රජයේ නිවාඩු දිනයක්‌ ලෙසට නම් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා සියලු දෙනාම ඒකට සහාය දෙයි කියලා.

මහනුවර සිදුවීම වූ අවස්‌ථාවේ රාජ්‍ය හා පෞද්ගලික සියලු මාධ්‍ය දැක්‌වූ සහායට මම ස්‌තුතිවන්ත වෙනවා. එම ගැටුම්කාරී තත්ත්වය වළක්‌වමින් රට තුළ සාමකාමී වාතාවරණයක්‌ ඇති කරන්න සියලු විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය විශාල සහයෝගයක්‌ ලබා දුන්නා. ගැටුම් වර්ධනය වන ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීමකින් තොරව සියලු මාධ්‍ය ආයතන කටයුතු කළා. ඒ පිළිබ`දව මම නැවතත් ස්‌තුතිවන්ත වෙනවා. ඒ තත්ත්වය වර්ධනය වුණා නම් රට වශයෙන් එය පාලනය කළ නොහැකි තත්ත්වයක්‌ ඇතිවිය හැකිව තිබුණා. ඒ දින කිහිපය තුළ ඇඳිරි නීතියත්, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමාජ වෙබ් අඩවි තාවකාලික අවහිර කිරීමත් පිළිබඳව ඒ අවස්‌ථාවේ යම් යම් විවේචන එල්ල වුණත් පොදුවේ ජනතාව එය අනුමත කළා කියලයි මම හිතන්නේ. එම දිනවලදී පාසල් දරුවන්ගේ දෙමවුපියන් නම් මට කිව්වා පුළුවන් නම් මේ සමාජ ජාලා අවහිර කිරීම තවදුරටත් කරන්න කියලා මොකද දරුවන් හදාගන්න ඕනෑ නිසා කියලා. එය සමාජයෙන් ආ අදහසක්‌ නමුත් මම එහෙම කරන්නේ නැහැ.

අද ඇමෙරිකාව, සිංගප්පූරුව වැනි රටවල් වලත් සෑම තැනම සමාජ වෙබ් අඩවි නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. සිංගප්පූරුව පාර්ලිමේන්තු කමිටුවක්‌ පත්කර තියෙනවා. ඇමෙරිකාවේ සමාජ ජාල තුළ ගිණුම තියෙන අයගේ රහස්‍යභාවය ආරක්‌ෂා නොකිරීම් පිළිබ`ද ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒ ආයතනයේ ප්‍රධානියා සෙනෙට්‌ එකට ගෙන්වලා තිබෙනවා. අපේ රටේ මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න අපි දන්වලා තිබුණා ඒ සමාගමේ ප්‍රධානීන්ට. පෙරේදා තමයි එන්න හිටියේ. නමුත් මුළු ලෝකයේම එල්ලවෙලා තිබෙන මේ ප්‍රශ්නෙත් එක්‌ක ඔවුන් නැවත දිනයක්‌ ඉල්ලුවා ඔවුන්ට ඇමෙරිකාවෙන් එළියට එන්නත් අමාරුයි. පසුගිය දිනවල නුවර වෙච්ච සිද්ධියත් එක්‌ක ඔවුන් ලංකාවට ආවා. එහිදී ඔවුන් කිව්වේ ඒ අය දන්නේ නැහැ කියලා ලංකාවේ මෙහෙම තත්ත්වයක්‌ තිබෙනවා කියලා. මොකද එම ආයතනවල සිංහල දන්න අය නැති නිසා ලංකාවේ සමාජ වෙබ් අඩවි මේ තරම් පරිහානියට පත්වෙලා තිබෙනවා කියලා ඒ අය දැනුවත් වී සිටියේ නැහැයි කිව්වා. අපි එයාලාගෙන් ඉල්ලීමක්‌ කළා එයාලගේ කාර්යාලයක්‌ ලංකාවේ පිහිටුවන්න කියලා. එවැනි කාර්යාල ඉන්දියාවේ තිබෙනවා. ඩුබායිවල තියෙනවා. අපි රජය විදියට දැනුම දුන්නා මෙන්න මෙහෙම වාර්තා පළ වෙනවා, අසභ්‍ය දේවල් පළ වෙනවා, ඒ වගේම ජාතිවාදී ගැටුම් ඇතිවන ප්‍රකාශ, ප්‍රවෘත්ති පළ වෙනවා, සාමාන්‍ය සමාජය තුළ අසමගිකම් ඇති වීමේ ස්‌වභාවය, බරපතළ ලෙස පුද්ගල චරිත ඝාතන, නින්දා, අපහාස, තර්ජනය කිරීම් වැනි කරුණු සම්බන්ධයෙන් පාලනයක්‌ තිබිය යුතුයි කියලා. එහෙම නැතිව නිදහස්‌ සමාජ වෙබ් අඩවි හෝ යහපත් මාධ්‍ය භාවිතයෙන් නැවැත්වීම ස`දහා රජය කටයුතු කරන්නේ නැහැ.

මේ අවස්‌ථාවට එක්‌වීම පිළිබ`ද ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාට මම ස්‌තුතිවන්ත වෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

මාධ්‍ය – මේ රටේ ජනතාවට ඔබතුමා ගැන ලොකු විශ්වාසයක්‌ තිබුණා. විශේෂයෙන්ම ඔබේ අවංකභාවය ගැන. පසුගියදා මහින්ද පාර්ශ්වය නියෝජනය කරන ඒකාබද්ධය විශ්වාසභංග යෝජනාවක්‌ ගෙනාවා. ඒ යෝජනාව ගෙනාවේ රජයට විරුද්ධවයි. ඔබතුමා ඒ ගැන ඇඟිලි ගැහුවා. අදහස්‌ ප්‍රකාශ කළා. ඇයි ඔබ එහෙම කළේ? ඒ ගැන දමිළ ජනතාවගේ හිත් යම් තරමක්‌ දුරට පළුදු වෙලයි තිබෙන්නෙ.

ජනාධිපතිවරයා – ඔබ ඔය කියන කාරණය පැහැදිලි නැහැ.

මාධ්‍ය – ඔබ විශ්වාසභංගය ගැන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතා කළා. සම්බන්ධන් සමඟත් සාකච්ඡා කළා. ශ්‍රීලනිපය සමඟත් කතා කළා. ඒකාබද්ධය රජයට එරෙහිව ගෙනා විශ්වාසභංගය ඔහේ තියන්නයි තිබුණේ. නමුත් ඊට මැදිහත් වුණා. මාගේ ප්‍රශ්නය ඒකයි.

ජනාධිපතිවරයා – මේ ගැන අගමැතිවරයා වගේම, විපක්‍ෂ නායකවරයාත් ඇවිත් මා සමඟ කතා කළා. තවත් යම් යම් පාර්ශ්ව මාව හමුවෙලා මේ ගැන කතා කළා. විශ්වාසභංගයට පක්‍ෂව කතා කරන අයට මම කිව්වේ බහුතරය පෙන්වන්න සිදුවෙයි කියලයි. එයයි ව්‍යවස්‌ථානුකූල තත්ත්වය. ඒ හැර ඒ ගැන විශේෂත්වයක්‌ නැහැ. වෙනත් සම්බන්ධයකුත් නැහැ.

මාධ්‍ය – විශ්වාසභංගයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සමහරු ඇමැතිවරු විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. සමහරු පක්‍ෂව ඡන්දය පාවිච්චි කළා. තවත් සමහරු ඡන්දය දීමෙන් වැළකුණා. විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන් එජනිස මැති ඇමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංගයක්‌ ගෙන එන්න එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ක්‍රියා කර තිබෙනවා. තිස්‌තුන් දෙනෙක්‌ අත්සන් කළ පිටපතක්‌ ඔබටත් ලැබිලා ඇති. එජාප පසුපෙළ මන්ත්‍රීන් කියා සිටින්නේ විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කළ එජනිස ඇමැතිවරුන් ඔවුන්ගේ ඇමැති ධුරවලින් ඉවත් කළ යුතු බවයි. මේ ගැන ඔබේ ස්‌ථාවරය කුමක්‌ද?

ජනාධිපතිවරයා – ඔය කියන ලිපියක්‌ මට ලැබිලා නැහැ. කෙසේ නමුත් විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කළ මැති ඇමැතිවරු සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ඉදිරියේදී ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව රැස්‌වීමෙන් පසුවයි. එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ ශ්‍රීලනිපය ආණ්‌ඩුව සමඟ සම්මුතිවාදී ආණ්‌ඩුවත් හැදුවෙත්, යම් යම් එකඟතා මත ආණ්‌ඩුව ඉදිරියට ගෙන ගියේත් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ ගත් තීරණය අනුවයි. මේ ප්‍රශ්නයේදී අප තීරණ ගන්නේ ඒ අනුවයි.

රජයට තියෙන අභියෝග මම දන්නවා. හඳුනාගෙන තියෙනවා. මාගේ අරමුණ රජය ශක්‌තිමත් කිරීමයි. ඉදිරියේදී ඊට සහයෝගය දීමේදී විශ්වාසභංගයේදී පක්‍ෂව ඡන්දය දුන්නාද? නැද්ද? කියන එක ප්‍රශ්නයක්‌ නැහැ. රජය ශක්‌තිමත් කිරීමට ඕනෑම කෙනෙකුට එකතු විය හැකියි.

මාධ්‍ය – විශ්වාසභංගයේදී ජාත්‍යන්තරයෙන් බලපෑමක්‌ එල්ල වුණාද?

ජනාධිපතිවරයා – අපේ රජය තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඕනෑම කෙනකුට ඕනෑම දෙයක්‌ කතා කළ හැකියි. ආණ්‌ඩුව තුළත් ඉන් බැහැරවත් ඕනෑම කෙනෙක්‌ වගකීමකින් තොරව කතා කරනවා. එහෙම තමයි සමහරු හැසිරෙන්නේ. කිසිදු ජාත්‍යන්තර ආයතනයක්‌, පුද්ගලයෙක්‌ මට නම් කතා කළේ නැහැ. ඒක ප්‍රතික්‍ෂේප කරනවා. පාර්ලිමේන්තුවේ යෝජනාවක්‌ පිළිබඳව ජාත්‍යන්තරයෙන් කතා කරයි කියලා හිතන්න බැහැ.

මාධ්‍ය – අගමැතිවරයා සමඟ සාකච්ඡා කළාද?

ජනාධිපතිවරයා – අගමැතිවරයා සමඟ සාකච්ඡා කළේ ආණ්‌ඩුව ඉදිරියට ගෙන යැම පිළිබඳවයි. කලින් කිව්වා වගේම රජය ශක්‌තිමත් කරලා, සංවර්ධන කටයුතු වේගවත් කරලා ආණ්‌ඩුවට ඉදිරියට ගෙන යැමට තමයි සාකච්ඡා කළේ. ඒ වගේම විශ්වාසභංගයෙන් පසුව නව අමාත්‍ය මණ්‌ඩලයක්‌ පත් කිරීම ගැන සාකච්ඡා කළා. පසුගිය අවුරුදු තුනේ අත්දැකීම් එක්‌ක අඩුපාඩු නිවැරදි කරගෙන අපි කොහොමද ඉදිරියට යන්නේ, කොහොමද එකඟත්වයක්‌ ඇති කර ගන්නේ. ඒ එකඟත්වයක්‌ ඇති කර ගැනීම සඳහා දෙපාර්ශ්වයෙන්ම කමිටුවක්‌ පත් කරන්නත් තීන්දුවක්‌ ගත්තා.

මාධ්‍ය – විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප – එජනිස මැති ඇමැතිවරුන් විවිධ ප්‍රකාශ කළා. එහිදී ඔබතුමාගේ ආශිර්වාදය ඇතිව තමයි කටයුතු කරන්නේ කිව්වා. නමුත් කොටසක්‌ පමණයි විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන්නේ. අනිත් කොටස ඡන්දය දෙන්න ආවේ නැහැ. ඒ ගැන ඔබතුමාගේ මතය කුමක්‌ද?

ජනාධිපතිවරයා – මැති ඇමැතිවරුන්ට තම අදහස්‌ ප්‍රකාශ කරන්න පුළුවන්. ඇතැමුන් නිවැරදි දේත්, වැරදි දේත් කතා කරලා තිබෙනවා. ඒ කතා සම්බන්ධයෙන් මගේ කිසිදු වගකීමක්‌ නැහැ.

මාධ්‍ය – බැඳුම්කර සිද්ධිය මුල් කරගෙනයි විශ්වාසභංගය ගෙනාවේ. දැන් විශ්වාසභංගය ජයග්‍රහණය කරලා තිබෙනවා. දැන් ඔබතුමත් පිළිගන්නවාද අගමැතිවරයා පිරිසිදු දේශපාලනඥයෙක්‌ කියලා?

ජනාධිපතිවරයා – පිරිසිදු කියන වචනය විග්‍රහ කිරීම කාලය ගතවන වැඩක්‌.

මාධ්‍ය – ඔබතුමාගෙන් පැහැදිලි පිළිතුරක්‌ අවශ්‍යයි ඒ සම්බන්ධයෙන්. ඒ වගේම මෙහිදී බල සූදුවක්‌ සිදුවුණාද?

ජනාධිපතිවරයා – බල සූදුවක්‌ කියන මතයට මම එකඟ නැහැ. පාර්ලිමේන්තුවක, රටක එවැනි දේවල් සිදුවෙනවා. මම ජපානයට ගිය වෙලාවෙත් විශාල පිරිසක්‌ අගමැතිවරයාට ඉවත් වෙන්න කියලා බෝඩ් උස්‌සන් හිටියා. අපේ රටේ පමණක්‌ එවැනි දේවල් වෙන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක ඔහොම දේවල් වෙනවා.

මාධ්‍ය – දැන් ඔබතුමා විශ්වාස කරනවාද විශ්වාසභංගය ජයග්‍රහණය කරාද? නැද්ද?

ජනාධිපතිවරයා – පාර්ලිමේන්තුවේ වූ දේ පිළිගන්න වෙනවා. නමුත් බැඳුම්කර නඩු තාම යනවා.

LEAVE A REPLY