මුතුරාජවෙල අභය භූමියේ සිදුකෙරෙන සියලුම අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ අංශවලට උපදෙස්‌ දී තිබේ. පෙරේදා (22 දා) ජනාධිපතිවරයා මුතුරාජවෙල අභය භූමියේ කළ නිරීක්‌ෂණ චාරිකාවකින් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. පරිසර ඇමැතිවරයා ලෙස පමණක්‌ නොව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට අයත් බලතල පාවිච්චි කරමින් රටේ තෙත් බිම් පරිසර පද්ධතිය රැකගැනීමට පෙරමුණ ගැනීම අගය කළ යුතුය. නමුත් අපට නැගෙන බරපතළ ප්‍රශ්නය ජනාධිපතිවරයා මුතුරාජවෙලට පැමිණෙන තෙක්‌ එහි ඉදිකිරීම් නතර කිරීමට අදාළ වගකිව යුතු ආයතනවලට නොහැකි වුණේ මන්ද යන්නය.

මුතුරාජවෙල යනු රජ කල දවස සිට පැවත එන සරුසාර කුඹුරු යායකි. ලන්දේසීන් විසින් කපන ලද ‘මෝඩ ඇළ’ ඔස්‌සේ කරදිය ගලා ඒම නිසා මෙම සරුසාර භූමිය පුරන් කුඹුරු යායක්‌ බවට පත්විය. ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් මෙම භූමිය බටහිරෙන් වෙරළ තීරයෙන් ද උතුරින් මීගමු කලපුවෙන් ද දකුණින් කැලණි ගඟෙන් ද නැගෙනහිරින් කොළඹ – මීගමු මාර්ගයෙන් ද මායිම් වී තිබේ. හෙක්‌ටයාර 1284.95 කින් යුතු මෙම වගුරු බිම 1996 අංක 947/13 දරන රජයේ ගැසට්‌ පත්‍රය මඟින් අභය භූමියක්‌ ලෙස පත්කර තිබියදී ලෝක රැම්සා සම්මුතියේ නීතිද උල්ලංඝනය කරමින් මෙම තෙත් භූමියේ පස්‌ පුරවා ස්‌ථිර ගොඩනැඟිලි ඉදිවන්නේ කෙසේද?

පෙරේදා (22 දා) වන තෙක්‌ මුතුරාජවෙල තෙත් බිම් උරුමය ගොඩකරමින් අනවසර ඉදිකිරීම් සිදුවූයේ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්‌, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්, වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්, වත්තල සහකාර ප්‍රාදේශීය ලේකම්, පතල් හා කැණීම් කාර්යාංශයේ සභාපති හා නීතිපති දෙපාර්තමේන්තුව යන වගකිව යුතු ආයතනවල වගකිව යුතු බලධාරීන් සිය නිලයන්හි රාජකාරී කරමින් සිටියදී ය. මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන මෙම රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි පරිසර ව්‍යසනයන් නතර කිරීමට නොහැකි නම් කළ යුත්තේ වහාම තම තනතුරුවලින් ඉල්ලා අස්‌ වී ගෙදර යැම ය. මෙම රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට තම රාජකාරිය අවභාවිත කිරීමෙන් අවසානයේ සිදුවූයේ රටේ සිවිල් පුරවැසියන්ට මුතුරාජවෙල බේරාගැනීමට සටන් කිරීමට ය.

රටේ ජනාධිපතිවරයා මැදිහත් වී මෙම පරිසර විනාශය වැළැක්‌වීමට පියවර ගැනීමෙන් හැඟෙන අනෙක්‌ ප්‍රධාන කාරණාව වන්නේ රටේ පරිසර පද්ධතිය ආරක්‌ෂා කර ගැනීමට ඇති රාජ්‍ය යාන්ත්‍රණය ඉතා දුර්වල බවය. සැබෑ ලෙසම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ යුත්තේ මුතුරාජවෙලට යැම නොව එය ආරක්‌ෂා කිරීමට බැඳී සිටින රාජ්‍ය යාන්ත්‍රණය බලගැන්වීම ය. රටේ සිදුවන පරිසර විනාශය හැටියට රටේ ප්‍රධානියා ඒ සෑම දෙයක්‌ම නිරීක්‌ෂණය කිරීමට ගියහොත් ජනාධිපතිවරයාගේ රාජකාරි ඉටුකිරීමට කාලයක්‌ ඉතිරි වන්නේ නැත. ඒ වගේම අණ පනත්වලින් පමණක්‌ රටේ පරිසරය ආරක්‌ෂා වූයේ නම් ශ්‍රී ලංකාවේ වන ගහණය 26% දක්‌වා ද තෙත් බිම් ප්‍රමාණය 15% දක්‌වා ද අඩු වුණේ කෙසේද? ෙ€දවාචකය මෙම ව්‍යසනවලට වගකිව යුතු රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් මහජන මුදල් විනාශ කරමින් රටේ පරිසර විනාශයට ද පාර කපමින් සිටීම ය.

ජනාධිපතිවරයාගේ මුතුරාජවෙල සංචාරයේදී එම පරිසර විනාශයට වගකිව යුතු නිලධාරීන් ‘ටයි’ පටි පැලඳ, කලිසම් ඇඳගෙන ජනාධිපතිවරයාගේ පිටුපසින් දිවයනු රටටම දැකගත හැකි විය. ආණ්‌ඩුව පමණක්‌ නොව රටම ප්‍රවේසම් විය යුත්තේ මෙම නිලධාරීන්ගෙනි. මන්ද මොවුන්ට රටත්, ආණ්‌ඩුවත් විනාශ කිරීමට වැයවන්නේ කාබන් පෑනක තීන්ත බිංදුවක්‌ පමණක්‌ බැවිනි.

– www.divaina.lk

LEAVE A REPLY