ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානමින් සිටින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයන්ට ඊයේ (22දා) දැනුම් දී තිබේ.

කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ දහවල් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන් හමු වූ මොහොතේ ඉතා ළඟදීම මැතිවරණයක් පැවැත්වෙන බවට එහිදී ජනාධිපතිවරයා ඉඟි පළකර තිබේ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සංවිධායකවරුන්ගෙන් විමසා ඇති ජනාධිපතිවරයා තරුණ සංවිධාන හා භික්ෂු සංවිධානවල ප්‍රගතිය පිළිබඳව බෙහෙවින් සතුටට පත්ව ඇති අතර කොට්ඨාස ක්‍රමයට ඡන්ද පැවැත්වීමේදී තරුණ පෙරමුණේ දායකත්වය ඉහළින්ම ලබා ගත යුතු බවට අවධාරණය කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව මෙහිදී සංවිධායකයන් විසින් ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක්ම එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති දේශපාලන හිතවත්කමින් බැහැරව ඡන්දයකට යන්නේ නම් සිය සහයෝගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන බවට පොරොන්දුවක් දී ඇති බවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බැවින් ඒ හැම දෙනාගේම සහයෝගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන බවට තමාට පොරොන්දු වූ බව එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය තනි පක්ෂයක් ලෙස තරග කරන්නේ නම් එහිදී ඔවුන් ස්වාධීනව කටයුතු කරන බවද තමාට සපථ කළ බව ජනාධිපතිවරයා පවසා ඇත.
මේ තොරතුරු පිළිබඳව කෘෂිකර්ම හා පරිසර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගෙන් “මව්බිම” කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ඉතා මිත්‍රශීලීව හෝරා දෙකක් පමණ ජනාධිපති සමඟ ගත කළ අතර සිදුවීම් සියල්ල සත්‍ය ඒවා බවය.

මේ සාකච්ඡාවට ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨ උප සභාපති, හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් සහ ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරු එක්ව සිටියහ.

LEAVE A REPLY