දියුණු සෞඛ්‍ය සේවාවක් සපයන රටක් හැටියට ශ්‍රී ලංකාව ආගමන හා විගමන ක්ෂේත්‍රයේදී සෞඛය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි සැලකිල්ල යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික දන්ත රෝහල් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය.

අලුත් මැලේරියා මදුරුවකු උතුරේ පේසාලෙන් සොයා ගැනීම ගැන “මව්බිම” හෙළිකළ ප්‍රවෘත්තිය පාදක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම අදහස් කළ කළේය.
සෞඛ්‍ය සේවාවේ ස්ථාන මාරු වීම් සම්බන්ධව තමා බලපෑම් කරන බවට වැරැදි මතයක් සමහරුන් තුළ ඇති බවත් තමා කිසිසේත් ඇමැතිවරුන්ට බලපෑම් කරන ස්ථාන මාරුවීම්වල අත පොවන ජනාධිපතිවරයකු නොවන බව ජනාධිපති අවධාරණයෙන් ප්‍රකාශ කළේය.

ඉතාමත් නවීන තාක්ෂණික අංගයන් සහිත දන්ත රෝහල් සංකීර්ණය ජනතාවට ලබා දුන් අයුරින් ජාතික රෝහල් හෘද රෝග ඒකකය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම කඩනමින් සිදු කරන බවද ජනාධිපති පැවැසීය.

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහල ශික්ෂණ පළමු අදියරෙහි නව මහල් ගොඩනැඟිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම හා එහි දෙවැනි අදියරයට මුල්ගල් තැබීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31දා) පැවැත්විණි.

ජනාධිපතිවරයා මෙසේද කීය.

” මා ඉතාමත් සතුටු වෙනවා මේ සුන්දර උදෑසන අපේ රටේ ජාතික රෝහලේ දන්තායතනය අභිනව ගොඩනැඟිල්ල විවෘත කරන අවස්ථාවට සහභාගි වන්නට ලැබීම ගැන. 2010 සෞඛ්‍ය ඇමැතිවරයා හැටියට එදා මේ ගොඩනැඟිල්ලට මුල්ගල් තබන අවස්ථාවේ මගේ ප්‍රාර්ථනාව වුණේ සෞඛ්‍ය ඇමැති කාලෙම මෙය විවෘත කරන්නට ලැබේවි කියලයි. මම හිතුවේ නැහැ රටේ ජනාධිපති වෙලා ඇවිත් මේ ගොඩනැඟිල්ල විවෘත කරන්න. එවැනි සිහිනයක් හෝ මට තිබුණේ නැහැ.

කෙසේ වෙතත් අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ඉතාමත් වැදගත් ස්ථානයක් දන්තායතනයට හිමි වෙනවා. නව දැනුමෙන් සහ නවීන තාක්ෂණයෙන් අපේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්නට අප සැමවිටම බැඳී සිටිනවා. අපට සතුටු වෙන්න පුළුවන් වෛද්‍යවරු හා අනෙකුත් කාර්ය මණ්ඩලවල තිබෙන කැපවීම ගැන. අපට මේ ක්ෂේත්‍රයේ තිබෙන අභියෝගවලදී ඇතැම් අභියෝග ජයග්‍රහණය කළා වගේම අප බලාපොරාත්තු නොවන විශේෂ තත්ත්වයන්ට අභියෝගවලට අපට මුහුණ දීමට සිදු වෙනවා. දේශගුණික, සමාජ, ආර්ථික ප්‍රශ්න ඒ අතර තිබෙනවා. ඒවා පදනම් කරගෙන තමයි සෞඛ්‍ය සේවයේ වරින් වර ගැටලු ඇති වෙන්නේ.

අද පත්තරේක ප්‍රධාන ප්‍රවෘත්තිය තිබුණේ උතුරේ අලුත් මැලේරියා මදුරුවෙක් සොයාගෙන කියලයි. ලංකාව මැලේරියාවෙන් නිදහස් රටක්. මම දන්නේ නැහැ ඒ වාර්තාව කොහොම පත්තරවලට ගියාද, සත්‍යතාව මොකද්ද මම දන්නේ නැහැ. මීට පෙර හඳුනා නොගත් මැලේරියා මදුරුවෙක් උතුරෙන් හමුවුණා කියලයි තිබෙන්නේ.

බොහෝ වෙලාවට අපට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන අභියෝග අතර අප මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි සංක්‍රමණික තත්ත්වයන්. අසල්වැසි රටවල්වලින් පැමිණෙන ජනතාව සංක්‍රමණික, සංචාරක, ව්‍යාපාරික ක්ෂේත්‍ර ඔස්සේ අපේ රට ඇතුළට විවිධ පිරිස් පැමිණෙනවා. එය අභියෝගාත්මක සෞඛ්‍ය ප්‍රශ්නයක්.

අපි දන්නවා කලාපයේ රටවල් කීපයකින් දෛනිකව විශාල පිරිසක් දිනපතා රටට ඇතුළු වෙනවා. උදේ පැමිණ සවස යන අයත් ඉන්නවා. අද ඊයේ ප්‍රශ්නයක් නොවුණත් දැන් වැඩි වී තිබෙනවා.

සෞඛයට ගැටලුවක් වගේම මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් බවට එය පත්ව තිබෙනවා. එවැනි කාරණා ගැන ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීමේ අවශ්‍යතාව දකිනවා. ඒ වගේම ඩෙංගු රෝගය පිළිබඳවත් දැනට කරගෙන යන වැඩ තවත් සාර්ථක කර ගන්නට පියවර ගත යුතු වෙනවා.

අද ජාතික රෝහලේ මම දකින අත්‍යවශ්‍ය වහා වහා කඩිනම්ව අවධානය යොමු කළ යුතු ආයතනය හෘද රෝග අංශයයි. නව ගොඩනැඟිලි ලබාදීලා පහසුකම් ඇති කිරීම කළ යුතුයි. එහි වෛද්‍ය කාර්ය මණ්ඩලවලට සේවය කිරීමේදී තිබෙන අපහසුතාවන් මම දකිනවා. හම්බන්තොට, වරකාපොළ, ගල්ගමුව, කලවංචිකුඩි, නුවරඑළිය, තෙල්දෙණිය රෝහල්වල වැඩ අවසන්. ළඟදීම විවෘත කරනවා. භෞතික සම්පත්වලදී කිසි අඩුවක් කරන්නේ නැහැ.

මානව සම්පත් ප්‍රශ්න තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු නියමිත ප්‍රමාණයෙන් 50%යි දැනට ඉන්නේ. හෙද සේවයේ විශාල හිඟයක් තියෙනවා. සිටින පිරිස් කැපවීමෙන් කරන බව මා දන්නවා. විශේෂඥ වෛද්‍යවරුන් මා හමුවී ඔවුන්ගේ ගැටලු කතා කළා. වෙනත් ආයතන සමඟ ඇති ගැටලු ඒවා විසඳගන්න මම පියවර ගත්තා.

වෛද්‍යවරුන්ගේ සේවා ස්ථාන නම් කිරීමේදී මම බලපෑම් කරන බවට කතාවක් කියා තිබුණා. මම ජනාධිපති වුණාට පසු කිසිම මාරුවීමක් ගැන ඇමැතිවරයකුට හෝ වෙනත් අයකුට දුරකතන ඇමැතුමක් දී නැහැ. මම එහෙම බලපෑම් කරන කෙනෙක් නෙවෙයි. මම ඇමැතිවරයා කාලෙවත් එහෙම කතා කරලා නැහැ. ඒක මට අයිති කාර්යක් නොවන බව මම දන්නවා. මා ගැන කවුරු නමුත් එහෙම වැරැදි වැටහීමකින් හිටියා නම් එය නිවැරැදි කරගන්න කියනවා. මම ස්ථාන මාරුවීම්වලට අතපොවන බලපෑම් කරන කෙනෙක් නෙවෙයි. මම සෞඛ්‍ය ඇමැති කාලෙ නම් මට ඕන විදියට වැඩ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් රාජිත සේනාරත්න ඇමැතිතුමාට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.”

  • උදේනි සමන් කුමාර(මව්බිම)

LEAVE A REPLY