අර්ජුන මහෙන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපති ලෙස 2015 පෙබරවාරි 23 දා පත්වූවාට පසුව දින කීපයක්‌ ඇතුළත දෙපාර්තමේන්තු ප්‍රධානීන් 14 ක්‌ මාරුකළ බවත් තවත් මාරුවීම් 20 ක්‌ සිදුවූ බවත් එම වර්ෂය තුළ සිදුවූ මාරුවීම් සංඛ්‍යාව 501 ක්‌ බවත් මහා පරිමාණයෙන් සිදු කළ අභ්‍යන්තර මාරුවීම් නිසා මුළු මහබැංකුවම හෙල්ලුම් කෑ බවත් මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලයේ ලේකම් හා සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා ඊයේ (16 දා) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය.

එසේ මාරුවීම ලැබුණු අය අතර මහ බැංකුවේ ප්‍රධාන දෙපාර්තමේන්තු 04 ක ප්‍රධානීන් වූ බවත් වග විභාගයකින් තොරව සිදුකළ එම ක්‍රියාවට මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බලවත් නොසතුට හා කණස්‌සල්ල පළ කළ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිලධාරීන් කණ්‌ඩායම් දෙකක්‌ මහ බැංකුවේ අධිපති හමුවේ කරුණු පැහැදිලි කර දුන් බවත් කරුණාරත්න මහතා කීය. මීට පෙර මාරුවීම් කළේ නියෝජ්‍ය අධිපතිවරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අදහස්‌ විමසීමෙන් බව මහ බැංකු අධිපතිවරයා හමුවීමට ඔහුගේ නිල නිවහනට ගොස්‌ තමා ඇතුළු නිලධාරීන් තිදෙනකු විසින් පෙන්වා දුන් විට ඉදිරියේදී එසේ කරන බවට ඔහු පොරොන්දු වූ නමුත් ඒ ආකාරයට කටයුතු සිදු නොවූ බව ද මූල්‍ය මණ්‌ඩලයේ ලේකම්වරයා පැවසීය.

මහ බැංකුවේ අධිපතිවරුන් වූ සුනිල් මැන්ඩිස්‌, අජිත් නිවාඩ් කබ්රාල් හා අර්ජුන මහේන්ද්‍රන් සහ තිදෙනා යටතේම තමා සේවය කර ඇති බවත් මහෙන්ද්‍රන් මහතාගේ කාලයේ මෙන් මහා පරිමාණයෙන් අභ්‍යන්තර මාරු කිරීම් අනිත් දෙදෙනා යටතේ සිදුවුවේ නැති බවත් ඒ මහතා පැවසීය.

වර්ෂයක සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් 5 කට, 6 කට වැඩි පිරිසක්‌ හෝ සාමාන්‍ය කාර්ය මණ්‌ඩලය 195 කට වඩා මාරුකර නැති බවත් පැවසූ කරුණාරත්න මහතා අභ්‍යන්තර මාරුවීම් සිදුකළ යුත්තේ සාධාරණ ක්‍රමයකට දෙපාර්තමේන්තුවල වැඩ අවුල්නොවන ආකාරයට බවත් සිදුකළ මාරුකිරීම් වැඩිහරියකින් මහා බැංකුවට සෙතක්‌ නොවූ බවත් කීය.

කොමිසමේ සභාපති – ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා – මහ බැංකුවේ දෙපාර්තමේන්තු කීයක්‌ තියෙනවද

කරුණාරත්න මහතා – 30 යි.

විනිසුරු ජයවර්ධන මහතා – ඒ හැම දෙපාර්තමේන්තුවකම ප්‍රධානියෙක්‌ හිටියා ද?

කරුණාරත්න මහතා – ඔව්.

විනිසුරු ජයවර්ධන මහතා – එහෙමනම් දෙපාර්තමේන්තු ප්‍රධානීන් 34 කට 2014 වර්ෂයේදී මාරුවීම් ලැබුණේ කෙසේ ද?

කරුණාරත්න මහතා – සමහර දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙන දෙපාර්තමේන්තුවකට මාරු කරල ටික දිනකින් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු කළා. මාරුවීම් 34 ක්‌ වුණේ ඒ ආකාරයටයි.

විනිසුරු ජයවර්ධන මහතා – ඔබ හිතන හැටියට වග විභාගයක්‌ නැතිව කළ මාරුවීම්වලට වගකිව යුතු කවුද?

කරුණාරත්න මහතා – ඒ හැම මාරුකිරීමක්‌ම මහා බැංකුවේ හිටපු අධිපති මහෙන්ද්‍රන්ගේ අනුමැතිය මත කළා. ඔහුගේ අනුමැතිය සඳහා යවලයි මාරුව කරන්නේ.

විනිසුරු ජයවර්ධන මහතා – එතරම් විශාල සංඛ්‍යාවක්‌ මාරු කිරීම මහ බැංකු ඉතිහාසයේ අස්‌වාභාවික සිදුවීමක්‌ ?

කරුණාරත්න මහතා – ඔව්, ස්‌වාමිනී.

LEAVE A REPLY