නිදහස් කුසලානය නිමා වුවත් අදහස් ගොඩක් මතුවෙලා තිබෙන්නේ එම විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය වූ නිසාම නෙවෙයි. බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි තරගයේදී (මාර්තු 16දා) ශ්‍රී ලංකාව දිනාවි කියන බයට කුලප්පු වෙච්ච කොටියන්ගේ වෙස්වළා ගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ක්‍රීඩාංගණය ආක්‍රමණය කරමින් හැසිරුණු ආකාරය කැතයි, අශෝභනයි, නින්දිතයි කිව්වේ අපි පමණක් නෙවෙයි. රූපවාහිනියෙන් තරගය නරඹපු දෙස් විදෙස් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෝ පවා බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කළා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු හඹා ගිය බංග්ලාදේශ පිලේ පිතිකරුවන් 19 වැනි පන්දු වාරයේ මුහුණ දුන් 2 වැනි පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරු විමලසිරි විසින් තීරණය නොකරන ලද නිසා උරණ වූ බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන් හතරේ සීමාව අසලට පැමිණ කළ රඟපෑම විශාල නාටකයක් දක්වා දිග්ගැස්සුණේ ජාත්‍යන්තර තරග නීති රීති උල්ලංඝනය කරමින්. තවත් විදියකින් කිවහොත් ඒ නටපු නැටිල්ල නිසා මහත්වරුන්ගේ ක්‍රීඩාවට සිදුකළ අලාභහානියට දෙන්න දඬුවම් අයි.සී.සී. නීති පොතෙත් නැතිව ඇති. නමුත් තිබෙන නීති මාලාව අනුව බැලුවමත් ෂකීබ් ඇතුළු ක්‍රීඩකයන්ට දීපු දඬුවම තවත් විහිළු සැපයීමක් ලෙසයි ඒ ගැන කතා කරන ලියන කාගෙත් මතය වෙලා තිබෙන්නේ.

ඊට කලින් මාර්තු 6දා ඉන්දියාව සමඟ පැවැති තරගයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායම නියමිත වේලාව තුළ පන්දු වාර විස්ස යැව්වේ නැහැයි යන චෝදනාවට ලක් කළ අයි.සී.සී. තරග තීරක ක්‍රිස් බේ‍රා්ඩ් චන්දිමාල්ට අසාදු ලකුණු 2ක්ද ලබාදී ඉන් පසුව පැවැති තරග 2ක්ද තහනම් කළා. එපමණක්ද නොව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් 60%ක් බැගින් දඩයක්ද නියම කළා. නමුත් පුදුම සහගත කරුණ කියන්නේ හිතාමතා නොකළ වරදකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයන්ට එවන් බරපතළ ලෙස දඬුවම් ලබා දුන්නත් ලෝක ක්‍රිකට් ප්‍රජාව ඉදිරියේ ඉතා පහත් ලෙස ක්‍රීඩාශීලීත්වය ඉරා දැමූ අශීලාචාර බංගලි ක්‍රීඩකයන්ට එරෙහිව දුන්නේ ඉතා සුළු දඬුවමක් පමණයි.

ඒකත් දුන්නේ ක්‍රීඩකයන් දෙදෙනකුට පමණයි. එනම් පිටියට පැමිණ තම පිතිකරුවන්ට තරගය නවත්වන්නට බල කරමින් පහත් ලෙස හැසිරුණු බංගලි නායක ශකිබ්ට සහ පිටිය මැදට ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ රණ්ඩු කරගත් එම තරගයේ අතිරේක ක්‍රීඩකයකු ලෙස සිටි නුරුල් හසන්ට තරග දීමනාවෙන් 25%ක දඩ මුදලක් සහ එක් අසාදු ලකුණක් බැගින් ලබාදීමට අයි.සී.සී. තරග තීරක ක්‍රිස් බේ‍රා්ඩ් තීරණය කළා. එහෙම බැලුවාම බංගලි නායකයා සිතා මතා කළ වැරැද්දට වඩා දෙගුණයකටත් වඩා දඬුවමක් සිතා මතා නොකළ වැරැද්දකට ශ්‍රී ලංකා නායකයාට දීලා තිබෙනවා. මේ දීපු දඬුවමේ ආකාරය ගැනත් දෙස් විදෙස් බොහෝ දෙනෙක් දැඩි අප්‍රසාදය පළ කර තිබුණා. අයි.සී.සී.ය මෙවන් නීති කුමන පදනමක් මත සකස් කළේද යන්න දැඩි ලෙස මාතෘකාවට බඳුන් විය යුතු කාලය දැල් එළැඹී ඇති බව මෙම සිදුවීමෙන් පැහැදිලියි. කෙසේ වෙතත් දත් නැති කොටියන් ලෙස විරුධාවලිය ලත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මෙවැනි දේවල් කිරීම ගැනත් එක් අතකින් පුදුම විය යුතු නැත.

බංග්ලාදේශ කණ්ඩායමට හතරවටින්ම චෝදනා ගලාගෙන ආවේ හතරේ සීමාවේ කළ නාඩගම්වලට පමණක් නෙවෙයි. ඒ අතරවාරයේ ක්‍රීඩාගාරයේ ‍ෙදාරක වීදුරුව බිඳ දැමීම ගැනත් ඔවුන්ට චෝදනා එල්ල වුණා. ඒ චෝදනාවන්ට අදාළ චූදිතයා කවුද යන්න සඟවන්නට අපේ ක්‍රිකට් ලොක්කන් සී.සී.ටී.වී. කැමරාවල දෝෂයන්ට මුවා වෙලා උත්සාහ කළත් ඒ උත්සාහයන් පුස්සක් වුණා. හේතුව වීදුරු ‍ෙදාර කැඩුවේ බංග්ලාදේශ නායක ශකිබ් බවට ඒ අසල කටයුතු කරපු සේවකයන් දෙදෙනකු දැනටමත් සාක්ෂි දී ඇති බවත් ආරංචියි. ක්‍රීඩාගාරයට වෙලා තිබෙන අලාභහානියේ මුදල ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් එකඟ වුවත් ක්‍රීඩකයන් කළ වරදේ තරමට දඬුවම් නොදෙන්නට ලංකාවේ සිටි අයි.සී.සී. තරග තීරක බේ‍රා්ඩ් සුදු මහත්තයට බලපෑමක් කරන්නටත් ‍ෙදාරවල් කඩා බිඳ දැමූ ක්‍රීඩකයන් ආරක්ෂා කරමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලකයන් සුරතල් කරන්නටත් මෙරට ඉහළ පෙළේ ක්‍රිකට් බලධාරියෙක් කටයුතු කළාද කියා සැකයක් දැන් මතුවෙලා තියෙනවා.

එහෙම සැක කරන එකේ වරදකුත් නැහැ කියලා හිතෙන්නේ ඒ දවස්වල අපේ ක්‍රිකට් මහත්වරු කියපු කරපු දේවල් දැක්කමයි. මොකද හේතුව අපේරටේ 70 වැනි නිදහස සමරන්න කියලා තරගාවලියක් තිබ්බත් ඒ වෙනුවෙන් ලොකු ලොකු පොත් ඵළියට දැම්මේ ඉන්දියාවේ කෙනෙක් ගැනයි. මෙකී ගත වෙච්ච දශක 5ක කාලය තුළ ලංකාවේ ක්‍රිකට් කරවපු මහත්වරු ගැන පොත්වල ලියන්න තරම් දෙයක් නැද්ද කියා ප්‍රශ්නය මතු වෙනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ මාධ්‍ය ඒකකය මැදිහත් වෙලා, නිදහස් කුසලාන සැමරුම වෙනුවෙන් පොතක් මුද්‍රණය කරලා බෙදුවා. මේ රටේ මාධ්‍යවේදීන්ගේ දායකත්වයද ලබාගත් ලිපි ඇසුරෙන් සකස් කරපු ඒ පොත නම් රටක නිදහස් සැමරුම් පොතක ආකාරයේ නම් නොවෙයි. ඒ ගැන සමහරු කීවේ ගමේ ගොඩේ මරණාධාර සමිතියකින් ඊට වඩා යහපත් ආකාරයේ පොතක් සකස් කළ හැකි බවයි. ඒ සඳහා හරවත් ලිපි සපයමින් මාධ්‍යවේදීන් ඔවුන්ගේ වගකීම් ඉටුකර තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එලෙස තුණ්ඩු ලියන ආකාරයේ පොත් පිංචක් නිකුත් කළේ ඉන්දියාවේ කෙනෙක් ඒකට නොලියපු නිසාද නැතිනම් ඉන්දියාවේ කෙනෙක් ගැන ඒකේ සඳහන් නොවන නිසාද? කියා ප්‍රශ්නයක් අහන්න වෙනවා. ඒ තරමටම පහත් මට්ටමක ඒ පොත් පිංච සකස් කර තිබුණා. නිදහස් සැමරුම් උළෙල දවසේ බෙදපු එකී පොත් දෙකත් මේ පොත් පිංචත් අතර වෙනස දුටුවාම මේ රටට නිදහස ලැබිලා අවුරුදු 70ක්ද කියලා හිතෙනවා. අනෙක ඉතින් බංග්ලාදේශයේ වැරැදි වහන්නයි ඉන්දියාවේ වරුණ ගයන්නයි මේ තරම්ම ඇති වුවමනාවක් ඇයිද? එවන් වුවමනාවක් තියෙන්නේ කාටද කියන ප්‍රශ්නත් මතු වෙනවා. එහෙත් මේවා ගැන අවබෝධයක් ඇති අය මේවට පිළිතුරු දන්න බවත් මෙවැනි ප්‍රශ්න නිර්මාණය කරන අය දැනගත යුතුයි.

කෙහොම කොහොම හරි එකී නොකී නාඩගම් මැද නිදහස් කුසලානය ඉවර වුණා. එහෙත් අන්තිමට මොකද වුණේ? නිදහස අපේ කුසලානය ඉන්දියාවේ. ඒකේ වැරැද්ද කාගෙද? ඒකට පිළිතුරු දැන්ම හෙව්වේ නැත්නම් ඔය ගන්න සුපිරි තීරණ වගේම සුපිරි පත්වීම්වලින් වැඩක් නැහැ. ගිය මාසේ අපේ කට්ටිය බංග්ලාදේශයට ගිහිල්ලා බංගලීන්ට ගහලා ආවා. එහෙම කළේ ඒකේ හිටපු කෝච් හතුරුසිංහත් එක්ක එහාට ගිය පළමු ගමනේදිමයි. ඒත් මාසයක් ගෙවෙන්න කලින් හරි හමන් කෝච් කෙනෙකුත් නැතුව එයාලා ඇවිල්ලා අපට ගහලා ගියා. පැරදුණාට කමක් නැහැ කියමුකෝ. ඒත් වැඩේ කියන්නේ එක පිට දෙකක්ම ගහලා ගියානේ. අපේ විමලසිරි විනිසුරුවාගේ දියාරු තීරණ නිසයි ප්‍රශ්න වැලක් නිර්මාණය වුණේ. ඒකෙන් ආපු තරහට මහමුදුල්ලාගේ ගැම්ම වැඩිවුණා කියන්නත් පුළුවන්.

කොහොම වුණත් හයේ පහරකින්ම අපිට බංග්ලාදේශය උත්තර දීලා අපේ කණ්ඩායම තුන්වැනි තැනට දැම්ම එක ගැන හොයලා බලන්න ඕන. ඔවුන් ඇත්තටම ලංකා කණ්ඩායමට වඩා ඉහළින් සිටියා කියලා පිළිගත යුතුයි. අද ලෝකේ බොහෝ තැන්වල යුක්තිය එකක්. නීතිය එකක්. ඒක අද ක්‍රීඩාවටත් පොදුයි. ඔය කාරණා දෙක එක්වූ තැන පමණයි සියයට සීයක් සාධාරණය ඉටු වෙන්නේ. ඒ නිසා හතරේ සීමාවෙන් එහා වූ දේවල් ගැන කනගාටුයි. නමුත් හතරේ සීමාව තුළ සිදුකළ දේවල් ගැන ශ්‍රී ලංකා කණ්ඩායම කනගාටු විය යුතුයි.

බංග්ලාදේශයේ ක්‍රීඩකයෝ නයා පෙණේ පිප්පුවේ සාම්ප්‍රදායිකව ඔවුන්ගේ නර්තනයෙන් ජයග්‍රහණය සමරන්න. නමුත් අපේ සමහරු පෙණේ පිප්පුවේ බාගෙට දිනා ගෙනයි. අන්තිමට අපේ අය පෙණේ පිප්පුවා පමණයි. බංගලි පෙණේ පුප්පලා දෂ්ට කරලත් ගියා. ඒ සිදුවුණ පාඩුව මකා ගන්න කාලයක් යාවි. බලාගෙන ගියාම මේ ප්‍රතිඵල නිසා හතුරුසිංහගෙත්් පතුරු ගැලවිලා ගියාද? කියලත් හිතෙනවා. එපමණක් නොවෙයි අපේ දැන් බැටිං කෝච් තිලාන් කලින් හිටියෙත් බංග්ලාදේශයේනේ. අනෙක ලංකාවේ බෝලිං කෝච් රත්නායක මොනවද කරලා තියෙන්නේ කියලා පන්දු යවන හැටි දැක්කාම බොහෝ දෙනා අහනවා. අන්තිමට කියන්න තියන්නේ නිදහස් කුසලානය ආරම්භයට පෙර බිලියනයක ලාභයක් ලැබෙනවා කීවත් ලැබුණු ප්‍රතිඵල දිහා බැලුවම මතක් වෙන්නේ “කන්දක් විලිලා මීයකු වැදුවා වගේ” යන පැරණි කතාවයි.

සිරිනාම රාජපක්ෂ – මව්බිම පුවත්පත.

LEAVE A REPLY